(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  පිලිපීන  නිල සංචාරයේදී අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තාක්ෂණික කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ  පිලිපීන ආයතන සමඟ සාකච්ජා මාලාවකට සහභාගී විය.

 පිලිපීනයේ අධ්‍යාපන ලේකම් Sonny Angara මුණ ගැසුණු අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිපත්ති, ගුරු පුහුණු වැඩසටහන්, විෂයමාලා ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් ඉගෙනුම් ක්‍රියාවලිය ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය

. විෂයමාලා නවීකරණය කිරීම සහ ඉගෙනුම් ක්‍රියාවලියට තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළා ය.

මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ උසස් අධ්‍යාපන කොමිසමේ (CHED) සභාපති ආචාර්ය Shirley C. Agrupis ඇතුළු නියෝජිත පිරිසක් ද හමුවිය.  

මෙහිදී දෙරටේ උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වුණු අතර, පර්යේෂණ සහයෝගීතාව, විශ්වවිද්‍යාල අතර අධ්‍යයන හවුල්කාරිත්වය, ශිෂ්‍ය හා පීඨ හුවමාරු වැඩසටහන් සහ තත්ත්ව සහතික රාමු ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.