(බී.ජී. චතුරංග  සහ උපුල් හේරත්)

අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුයුක්තව ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙන අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මාවතේ පිහිටා ඇති "මෙත් සිරි සෙවණ" වාට්ටු සංකීර්ණයේ අද (11) දහවල් ඇති වූ හදිසි ගිනි ගැනීම් තත්ත්වයක් පාලනය කර නිවා දැමීමට අනුරාධපුර මහා නගර සභාවේ සහ යුද හමුදාවේ ගිනි නිවීම ඒකකයේ සාමාජිකයන් , රෝහල් කාර්ය මණ්ඩලය සහ පොලිසිය,  මහජනතාව,  එක්ව කටයුතු කළහ. 

මහල් හතරකින් සමන් විත 'මෙත්සිරි සෙවණ' වාට්ටු සංකීර්ණයේ ඉහළ මාලයේ වහලයේ ඇති වූ මෙම ගින්න හේතුවෙන් එම වාට්ටු සංකීර්ණයේ ප්‍රතිකාර ලැබූ කිසිදු රෝගියෙකුට හානියක් සිදු නොවූ අතර රෝහල් කාර්ය මණ්ඩලය එක්ව ස්වසන  ආබාධතාවයෙන් පෙලෙන රෝගීන් යුහුසුළුව  ගිලන් රථ මාර්ගයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට මෙහිදී කටයුතු කළහ.

ගිනිගැනීම ආරම්භ වන අවස්ථාවේදී එම වාට්ටුවේ රෝගීන් අට දෙනකු පමණක් සිටි බවද රෝහල් ප්‍රකාශකයකු මෙහිදී පැවසීය. 

වාට්ටු සංකීර්ණයේ  ඉහල මාලයේ වහල සහ සිවිලිමේ  කොටසක්  මෙලෙස ගිනි ගැනීමට ලක් වූ අතර, මෙම ගිනි ගැනීම, එම වාට්ටුවේ වහලයේ  සවිකර තිබූ සෝලා පද්දතියෙන් හට ගන්නට ඇති බවට විශ්වාස කරන බව රෝහල් අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා මෙහිදී පැවසීය.