(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ පස්වෙනි සමාලෝචනය සහ හයවෙනි සමාලෝචනය එකවර සම්පූර්ණ කිරීම සඳහා එයට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට නිලධාරීන් කණ්ඩායමක් එළැඹෙන 26 වෙනිදා මෙරටට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී පසුගියදා ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නිලධාරීන් කණ්ඩායම එළඹෙන 9 වැනිදා තෙක් මෙරට රැඳී සිටිනු ඇති බවද ඇය පැවසුවාය.

එහිදී මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම අවබෝධ කර ගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායම මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කරනු ඇතැයි ද ඇය සඳහන් කළාය.

අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහාය ලබාදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිවැරදි ඇස්තමේන්තුවක් සමඟින් නිලධාරීන් කණ්ඩායම නැවතත් වොෂින්ටනයද පැමිණෙනු ඇතැයිද ඇය පෙන්වා දුන්නාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට සම්බන්ධයෙන් සිදුකළ පස් වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල්දැමීමට පසුගිය දෙසැම්බරයේදී එම අරමුදල තීරණය කළේය.

එලෙස කල් දමන්නේ දිට්වා සුළි කුනාටුව මෙරටට සිදු කළ බලපෑම පිළිබඳව නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.

පස්වැනි සමාලෝචනය පිළිබඳව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණිය අතර ඒ සඳහා අනුමැතිය ලබාදීමට පසුගිය දෙසැම්බර් මාසයේදී එම අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිතව තිබිණි.

නමුත් දිට්වා සුළි කුණාටුව මේ රටට කඩා වැදීම හේතුවෙන් පස් වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම කල්දැමුණු අතර ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ කඩිනම් මූල්‍යකරණ මෙවලම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 206ක ණය මුදලක් මෙරටට ලබාදීමට එම අරමුදල කටයුතු කළේය.