(අංජුල මහික වීරරත්න)

2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (20) දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී නිලධාරීන් මේ බව කීය. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවත්, අයෝජන මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී මුහුණදෙන ගැටලු, අභියෝග සහ ඊට ගත හැකි විසඳුම් පිළිබඳවද මෙම රැස්වීමේදී අවධානය යොමු කෙරිණි. 

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය සහ ග්‍රාමීය ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීමේ කාර්යයෙහි විශාල වැඩ කොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරී ඇති බවයි. සාම්ප්‍රදායික ආයෝජන ක්ෂේත්‍ර කෙරෙහි ආයෝජන කැඳවා ගැනීමේ හැකියාව සීමා සහිත බැවින්, රටක් ලෙස නව ආයෝජන ක්ෂේත්‍ර හඳුනා ගත යුතුව ඇති බවත්, එහි වගකීම ආයෝජන මණ්ඩලයට පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.