(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය.

සියලු ජන කොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනා එකට ජීවත් වන ‍රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමිනි.

නල්ලුර් ශිවම් කෝවිලේ පැවති තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ජාතික තෛ‍පොංගල් උත්සවයට එක් විය.

දෙමළ සංස්කෘතික පෙරහැරකින් උත්සව භූමිය වෙත කැඳවාගෙන එනු ලැබූ ජනාධිපතිවරයා හින්දු චාරිත්‍රාණුකූලව පිළිගැනිණි. විචිත්‍ර දමිළ සංස්කෘතිකාංග කිහිපයකින් ද උත්සවය වර්ණවත් විය.