IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


වෙලේ සුදාගේ මස්සිනාට රැඳවුම් නියෝග

හෙරොයින් මිලිග්‍රෑම් 1500ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන සිද්ධියකට අදාළව ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ඡාවාරම්කාර “වෙලේ සුදා” ගේ මස්සිනා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනිදාතෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (10) පොලීසියට අවසර දුන්නේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය දුන්නේ, මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේසුදා” නමැත්තාගේ මස්සිනා වන ඉමදූව ඇල්ලගොඩ පහළ කනත්ත වත්තේ පදිංචි අඟුලුගහ ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර, නුගේගොඩ කොහුවල පදිංචි මද්දුමරාළලාගේ ප්‍රියන්ත සහ අමුගොඩ කංකානම්ගේ නිහාල් ප්‍රසාද් යන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ය.

මෙම සැකකරුවන් සහ ‘වෙලේ සුදා’ නමැත්තා අතර ඇති සබඳතාව සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලිය යුතුව ඇති බැවින් ඔවුන් මත්ද්‍රව්‍ය පනත ප්‍රකාරව රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසට ඉමදූව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර මෙහි පළමු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1500ක ප්‍රමාණයට අමතරව රුපියල් 37,000ක්, බැංකු පොත් දෙකක්, ජංගම දුරකතන 04ක් ඇතුළු ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙහි පළමු සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම නිවසේ රැඳීසිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා පිළිබදව ද විමර්ශනය කළ යුතුව ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් ද රැඳවුම් නියෝග ලබාදෙන ලෙසට ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහි පළමු සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බැංකු ගිණුම්වල මසකට රුපියල් ලක්ෂ ගණනින් මුදල් සංසරණයවී ඇති බවත් මේ වසරේ පමණක් රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් හුවමාරුවී ඇති බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම සැකකරු ත්‍රීරෝද රථ රියැදුරකු ලෙස රැකියාව කරන අයකු වන අතර ඔහු සතුව නවීන පන්නයේ නිවසක්, මෝටර් රථයක් මෙන්ම නවින පන්නයේ යතුරුපැදි දෙකක් ද තිබීම ගැටලු සහගත බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සැකකරු ‘වෙලේ සුදා’ නමැත්තාට ආහාර පහසුකම් සැලසීම සඳහා බන්ධනාගාරයේ ආපනශාලාවට මසකට රුපියල් 5,000 බැගින් මුදල් ගෙන ගොස් ලබාදී ඇති බවත් ඔහු ඉකුත් ජුලි මස 11 වැනිදා ද වෙලේ සුදා, උරුජුවා ඇතුළු ප්‍රබල ගණයේ තවත් රැඳවියන් කිහිප දෙනෙකු සඳහා ද මේ ආකාරයෙන් බන්ධනාගාර ආපනශාලාවට මුදල් ලබා දී ඇති බවටත් කරුණු අනාවරණයවී ඇතැයි පොලිසිය අධිකරණයට සඳහන්කර තිබේ.

මෙම සැකකරු වෙලේ සුදා නමැත්තාගේ බිරිඳගේ වැඩිමහලු සහෝදරිය සමඟ විවාහවී සිට ඇයගෙන් වෙන්ව වෙනත් කාන්තාවක හා දැනට ජීවත්වන බවත් ඔහු හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණෙන විට ඔහුගේ බිරිඳ ඔහු හැරගොස් සිටි බවටත් කරුණු අනාවරණය වන බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් දුරකතන හතරේ අඩංගුව තිබූ සිම්පත් 06 සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කළ යුතුව ඇති බැවින් සහ මෙම සිම් කාඩ්පත්වලට අදාළව ඊෂිකෑෂ් ක්‍රමයට මුදල් හුවමාරුවී ඇතිදැයි යන්න සම්බන්ධයෙන් ද දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අදාළ දුකරතන සමාගම් වෙත නියෝග නිකුත් කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බැංකු පොත්වලට අදාළව ගිණුම් වාර්තා ලබා ගැනීම සඳහා සහ ඔහුගේ ජාතික හැඳුනුම්පතේ අංකයට අදාළව බැංකු 05කට නියෝග නිකුත් කරන ලෙසට ද පොලිසිය අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පොලීසිය ඉල්ලා සිටි නියෝගයන්ට අවසර දෙමින් සැකකරුවන් ලබන 17 වැනිදා තෙක් රඳවා ගැනීමට අවසර ලබා දෙමින් එදිනතෙක් නඩුව කල් තැබීය.

ඉමදූව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර, පොලිස් සැරයන් 6115 කරුණාදාස සහ පොලිස් කොස්තාපල් 89466 චාමර යන නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

 

(***උණවටුන ඩී. ජී. සුගතපාල, ***යක්කලමුල්ල ජේ. කේ. එල්. චාමින්ද, ***අහංගම සුමතිපාල දීයගහගේ, ***කරාපිටිය ප්‍රේමතිලක ද සිල්වා)



අදහස් (0)

වෙලේ සුදාගේ මස්සිනාට රැඳවුම් නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 213 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 715 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 137 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site