(මුදිතා දයානන්ද)

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඉංජිනේරුවන්, රජයේ හා පෞද්ගලික අංශවල බැංකු නිලධාරීන් ඇතුළු වෘත්තීයවේදීහු විශාල පිරිසක් කොළඹ හයිඩ් පිටියට අද පස්වරුවේ රැස්වූහ.

වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ සම්මේලනය විසින් එම රැලිය සංවිධාන කරනු ලැබීය.

එහිදී වෘත්තීය සමිති නායකයෝ රැසක් රැලිය අමතා අදහස් දැක්වූහ.

එහිදී ඔවුහු විරෝධතා රැලියක් ද පැවැත්වූහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛදය හරිත අලුත්ගේ මහතා එහිදී මෙසේ පැවැසීය.

“කවදාවත් ඉතිහාසයේ එකට එකතු නොවුණ වෘත්තීය සමිති රැසක් රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා අද එකට එකතු වෙලා, එකමුතු වෙලා තිබෙනවා. අපි ආරම්භ කර තිබෙන්නේ දිනන සටනක්. අපි කවදාවත් පරදින සටන් කරලා නැහැ. ඒ නිසා මේ සටනත් කෙළවර කරන්නේ ජයග්‍රහණයෙන්මයි. අපි ආරම්භ කළ සෑම සටනක්ම එකමුතුවෙන් දිනලා තිබෙනවා. මේ පළමු සංඥාව. දෙවැන්න මීට වඩා බරපතළ වේවි.”

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා:

“අද ටී පනස්හයක් නොවෙයි මල්ටි බැරල් එව්වත් මේ සටන නවත්වන්න බැහැ. නන්දලාල්, අද මහ බැංකු සේවකයොත් මෙතන. නන්දේලා කොහොමත් මේ රටට හිතකර වුණේ නැහැ. හැත්තෑඅටේ විවෘත ආර්ථිකය ගෙනාවාට පස්සේ බලයට පත්වුණ හැම ආණ්ඩුවක්ම තොග පිටින් ණය අරන් කොමිස් ගහලා රට කෑවා. ඊට පස්සේ ණය ගෙවන්න රාජ්‍ය ආයතන විකුණන්න ගත්තා. දැන් බැංකු ටිකත් විකුණන්න හදනවා. දැන් ආණ්ඩුවේ කුක්කෝ කියනවා අයි.එම්.එෆ්. එක කිව්වේ රුපියල් හතළිස් පන්දහසට වැඩි අයට බදු ගහන්න කියලා, අපි බොහොම අමාරුවෙන් කතා කරලා තමයි ලක්ෂෙට වැඩි කරගත්තේ කියලා. ඒ කියන්නේ හතළිස් පන්දහසටත් බදු ගැසීම ළඟ ළඟම එනවා.

මහ බැංකු වංචාව, හෙජිං වංචාව, සීනි බදු වංචාව, සුදු ලූනු වංචාව වගේ වංචා කොච්චර තිබෙනවා ද? රාජ්‍ය ආදායම වැඩි කරගන්න නම් මේවාට නඩු දාලා අය කරගන්න. ඒත් කෝ මේ අයට නඩු? නඩු නැහැ. අපි ආණ්ඩුවට කියනවා අපි හැප්පිලා බලමු කියලා.”

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.සී. උදයසිංහ මහතා:

“අපි අද මේ රැස්වුණේ රජයේ අසාධාරණ බදු පනතට විරුද්ධවයි. අපි කිසිසේත්ම බදු ගෙවීමට විරුද්ධ නැහැ. බදු ගෙවන්න අපි ලෑස්තියි. ඒත් එය අපිට ගෙවිය හැකි සාධාරණ බද්දක් විය යුතුයි. අද අපේ වැටුපෙන් විශාල ප්‍රමාණයක් බදු ලෙස ගෙවන්න වෙලා. රටේ ආදායම් ඉහළ නංවන්න අපෙන් මේ විදිහට බදු අය කිරීම සාධාරණ නැහැ. මේ තත්ත්වයට රට පත් කළේ මේ රටේ පාලකයෝ. ඔවුන් මැතිවරණ ඉලක්ක කරගෙන හදපු ප්‍රතිපත්ති. විදේශවලින් ණය අරගෙන මහා පරිමාණ ව්‍යාපෘතිවලට යොදවලා මහා පරිමාණයෙන් ගසාකෑමයි මෙතෙක් සිදු වුණේ. ඒ සිදු වුණු පාඩු දැන් අපිට ගෙවන්න සිදු වෙලා. ඒක සාධාරණ නැහැ. පාලකයන් තමන්ගේ වටා ඉන්න ව්‍යාපාරිකයන් සතුටු කරන්න අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා අහිමි වූ ආදායම හොයන්න ඒ බර අපි මත පැටවීමට කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ.”

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය නදීෂ් සිල්වා මහතා:

“පාලකයන්ගේ න්‍යායපත්‍ර ඇතුළේ හැමදාමත් අප දංගෙඩියට අරන් යාම පමණයි සිදු වුණේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට කටමැත දෙඩෙව්වත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවෙයි. ඒ නිසා ඔහු හදන්නේ ජනතාව තරාදියේ එක පැත්තකට දාලා වෘත්තිකයෝ අනෙක් පැත්තට දාලා නෝනා ද පොල්ල ද සෙල්ලම කරන්න. අපි කියනවා නෝනායි පොල්ලයි දෙකම තියාගන්න අපි ලෑස්තියි අපේ ක්‍රමයට මේ සටන දිනන්න. නිහඬව සිටියොත් ඉදිරියේදී පියයුරු බද්දක් වුණත් එන්න පුළුවන්. අපි ඉල්ලන්නේ සාධාරණය. ඒ නිසා අපි මේ සටන ජයග්‍රහණයෙන් මිස පරාජයෙන් කෙළවර කරන්නේ නැහැ.”

එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති, ඉංජිනේරු නිහාල් ගුණරත්න, වරාය අධිකාරියේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිමේෂ් ඉන්දික යන මහත්වරු ද අදහස් දැක්වූහ.

 

(ඡායාරූප: ජයමාල් චන්දුසිරි)