තවත් සිංහල අලුත් අවුරුදු උදාවක එළිපත්තට අපි පිවිස සිටින්නෙමු. මේ කාලය තෙල්, පිටි, ලුණු සේම පැණි රස ආහාර වර්ග බහුලව ආහාරයට ගැණෙන කලයකි. රෝගී නිරෝගී සියල්ලෝම තම අසනීප තත්ත්ව පසෙකලා රිසිසේ එවන් ආහාර භුක්ති විඳිති. තෙල්,පිටි, ලුණු සේම පැණි රස ආහාර දිගුකල් පරිභෝජනය නුදුරු දිනකදීම බෝ නොවන රෝග සඳහාද හේතු පාදක වන බව නොරහසකි.

වාර්ෂික පුද්ගල මරණ අනුපාතය ගෙන බැලුවොත් ඉන් සියයට අසූතුනක්ම බෝ නොවන රෝග හේතුවෙන් වාර්තා වූ මරණයි. එයින් සියයට දහයක්ම දියවැඩියා රෝගය හේතු වන අතර සියයට තිස් හතරකට හෘදයාබාධ සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගී මරණ හේතු වේ. එනම් හෘදයාබාධ , අංශභාගය හෙවත් ආඝාතය, හෘදයේ බිඳ වැටීම් වැනි රෝගාදියයි .

අද පුද්ගල මරණ අනුපාතය ගෙන බැලුවොත් බෝ නොවන සේම බෝ වන රෝගවලින් මිය යන ප්‍රතිශතයද ඉහළ අගයක් ගෙන ඇත.

එබැවින් අවුරුදු කාලයේදී ලෙඩ නොවී නිසි පමණ දැනගෙන ආහාර භුක්ති විඳින්නේ කෙසේද යන්න දැනුම්වත් වීම අවශ්‍ය කෙරේ.

අවුරුදු කාලයේදී පැණිරස කෑම වැඩිපුර කෑවොත්

නිරෝගී පුද්ගලයන් සේම රෝගී පිරිස්, තරුණයන්, වැඩිහිටි කණ්ඩායම් නිරන්තරයෙන්ම තම සෞඛ්‍යයට මුල් තැනක් දීම ප්‍රධාන වේ. එවිට දැනටමත් රෝගිව සිටින පුද්ගලයන්ට පවා විවිධ සංකූලතා මඟ හරවා ගත හැකි වනු ඇති. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පසුගිය දත්ත පෙන්වා දෙන පරිදි පැණිරස ආහාර පරිභෝජනය නිසා අපේ රටේ කාන්තාවන්ගෙන් සියයට හතළිස් පහක් බර වැඩි තරබාරු ගණයට වැටෙන අතර ඉන් සියයට විසි පහක් පුරුෂ පක්ෂයයි.

සීනි හෙවත් පැණි රස ආහාර ගැන දැනගෙන පරිභෝජනය සීමා කිරීම, ලෙඩ රෝගාදිය මෙන්ම සංකූලතා රැසකින්ම බේරීමට ඉවහල් වනු ඇත. නිරෝගිමත් පුද්ගලයකුගේ දිනක සීනි පරිභෝජනය කපාපු තේ හැඳි 06කට අඩු ප්‍රමාණයක් විය යුතුය. ඒත් අපේ දෛනික ආහාර රටාවේදී නියතය ඉක්මවා යමින් දිනක සීනි පරිභෝජනය තේ හැඳි 10ත් 12ත් අතර ප්‍රමාණයක් දක්වා වැඩි වී ඇත. මෙය යහපත් ප්‍රවණතාවක් නම් නොව බව කිව යුතුමය.

වර්තමානයේදී මිනිසා කාර්යබහුල ජීවිතයකට හුරුව ඇත්තේ මනස මෙහෙයවා කරන ක්‍රියාකාරකම්වලින් පමණකි . නිරෝගිමත් ජීවිතයක් පවත්වා ගැනීමෙහිලා ව්‍යායාම්වල ඇති වැදගත්කමද අමතකව ඇති සෙයකි.

කය වෙහෙසා ක්‍රියාශීලී නොවීම මත පැණි රස ආහාර පරිභෝජනයෙන් සිරුරට ඇතිවන දුර්විපාක ගැන ඔබ දැනුම්වත්ද?

ප්‍රමාණය ඉක්මවා අපි ගන්නා පැණි රස ආහාරවල අඩංගු සීනි වැඩි ප්‍රමාණය තෙල් වශයෙන් සිරුරේ තැම්පත් වේ. මෙමගින් ශරීර බර වැඩි වීම ආදී සංකූලතා ඇති වේ. රුධිර පීඩනය ඉහළ යාම, හෘදයාබාධ මෙන්ම සමහර පිළිකා රෝග තත්ත්වාදියටත් මෙය හේතු වේ. එමෙන්ම මනසේ සුවපහසුව බිඳී යාම. චර්යාත්මක වෙනස්කම්වලටද භාජන වේ.

නිරාහාර රුධිර පරීක්ෂණයකදී රුධිරයේ සීනි මට්ටම රුධිරය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 100ට අඩුවෙන් පැවතීම සාමාන්‍යයි. එය මිලි ග්‍රෑම් 100ත් 126ත් අතර මට්ටමේ පැවතීම පූර්ව දියවැඩියා තත්ත්වයක් ලෙස හැඳින්වේ. එම මට්ටමේ පසුවන පුද්ගලයන් පිටි, සීනි භාවිතය අවම කළ යුතු අතර ජීවන චර්යාවේ වෙනස් වීම් සමගින් දියවැඩියා රෝගීන් වීමට ඇති ප්‍රවණතාව අවම කරගත හැකියි. නිරාහාර සීනි මට්ටම මිලි ග්‍රෑම් 126ට වඩා වැඩි වූ විට එම තත්ත්වය ‘ දියවැඩියාව ‘ ලෙසට හඳුනා ගැනේ.

සිරුරේ සමස්ත ඉන්ද්‍රිය පද්ධතියටම බලපාන දියවැඩියා රෝගයට ගොදුරු වනවාට වඩා ආහාර ගැනීමේදී පැණිරස ආහාර අවම පරිභෝජයකට හුරු වීම පහසුවෙන් කළ හැකියි. රුධිර සංසරණ පද්ධතියට, වකුගඩුවලට, මොළය රුධිර වාහිනීවල වෙනස් වීම්, ස්නායු පද්ධතියට එකසේ දියවැඩියා රෝගය බලපෑම් කළ හැකිය.

දියවැඩියා රෝගියකු වුවත් පැණි රස ආහාර පරිභෝජනය අඛණ්ඩව කරනවානම් සංකූලතා ඉහළ යාමට ඇති අවකාසය වැඩියි. මෙහිදී පැණි රස ආහාර භාවිතය මුළුමනින්ම පාහේ නතර කිරීම වෙනුවට අවම භාවිතයට හුරු වන්න කියන පණිවුඩයට මුල් තැනක් මෙන්ම අනුගත වීමක්ද අවශ්‍ය කෙරේ.

පැණි රස සේම අධික ලුණු භාවිතය නිසා රුධිර පීඩනය ඉහළ යාමද සිදු වේ. ඇතැම් කාන්තාවන් බත් පිසීමේදීත් ලුණු එකතු කර ගැනීමට පුරුදුව සිටී. ලුණු දිගුකාලයක් පුරාම ගැනීම රුධිර පීඩනය ඉහළ යාමට හේතුවකි.

ලුණු අවම භාවිතය නිරෝගි වීමේ රහසක්

පුද්ගලයකු සඳහා දිනකට නිර්දේශ කරන ලුණු ප්‍රමාණය කැපූ තේ හැඳි එකකට අඩු විය යුතුය. සාමාන්‍ය ලුණුවල අඩංගු රසායනික සංයෝගය ‘ සෝඩියම් ක්ලෝරයිඩ් ‘ වන අතර මින් ‘ සෝඩියම් ‘ කොටස අපේ රුදිර පීඩනය හා පරිමාව පාලනය කිරීමටත්, ස්නායු පනිවුඩ හුවමාරු ක්‍රියාවලියටත්, මාංශ පේශි නිසි සමායෝජනය සඳහාත් අවශ්‍ය කෙරේ.

ලුණු තේ හැන්දකින් එනම් ග්‍රෑම් පහකින් ‘ සෝඩියම් ‘ ග්‍රෑම් දෙකක් ලැබේ. එම ප්‍රමාණය ඉහත ක්‍රියාවලි පවත්වා ගැනීමට ප්‍රමාණවත්ය.

එහෙත් සාමාන්‍යයෙන් පුද්ගලයකු ලුණු තේ හැඳි දෙකක් තුනක් අතර ප්‍රමාණයක් දිනකට ආහාරයට එකතු කර ගන්නා බැවින් ඒ සමග වැඩි ජලය ප්‍රමාණයක් රුධිර පද්ධතිය තුළට එකතු වේ. මෙම තත්ත්වය කල් ගත විමේන් රුධිර වාහිනීවල සිදුවන වෙනස්වීම්ද නිසා අධික රුධිර පීඩනය ඇති වේ.

අධික රුධිර පීඩනය නිසා හෘදයාබාධ, අංශභාගය, වකුගඩු අකර්මණ්‍ය වීම,ඔස්ටියෝපොරෝසිස්, ආමාශ පිළිකා මෙන්ම ඇදුම වැනි ආසාත්මිකතා ඇති කරවීමේ අවදානමද වැඩි කරවයි.

තෙල් කෑම අඩුවෙන් කමු

මිනිස් සිරුරට දිනකට තේ හා මේද ග්‍රෑම් 50ක් පමණ අවශ්‍ය වේ. එම ප්‍රමාණය ලබා ගන්නේ සංතෘප්ත , ඒක අසංතෘප්ත ,බහු අසංතෘප්ත තෙල් හා මේද අශ්‍රයෙනි. නිරෝගී පුද්ගලයකුගේ රුදිර ගත කොලෙස්ට්‍රෝල් මට්ටම රුදිරය මිලි ලීටර් 100කට කොලෙස්ට්‍රෝල් මිලි ග්‍රෑම් 200කට වඩා අඩු වීම යහපත් ප්‍රවණතාවකි.

එබැවින් ආහාර පිළියෙළ කිරීමේදී ගැඹුරු තෙලේ බැදීමට පොල්තෙල් නුසුදුසුය. ඒ පොල්තෙල් සංතෘප්ත මේද ගණයට වැටෙන හෙයිනි. එහිදී අතරමැදි මේද අම්ල ( ට්‍රාන්ස් මේද ) ඇති වීම අවම වන බැවින් රුධිර වාහිනී අභ්‍යන්තරයට හානි වීම වලක්වා ගත හැකියි.

ඒ වගේම සමෙහි මනා පැවැත්මටද විටමින් ඒ,බී හා ඩී අවශ්‍ය වේ. ඒවා තෙල් සමග දියවී සිරුරට උරා ගැනේ.

පැණිරස, තෙල් සහ ලුණු භාවිත කර ආහාර සැකසීමේදී ආහාරවල ප්‍රමාණය කුඩා කිරීම, මෙකී මූලික අමු ද්‍රව්‍ය භාවිතය අවමව යොදා ගැනීම කළ හැකිය. එක් වේලක් පැණිරස ආහාරයක් ගතහොත් දවසේ ඉතිරි වේල්ද පැණිරස ආහාර ගැනීමෙන් වලකින්න. ඒ වෙනුවට දේශීය එළවළු, පලතුරු සහ පළා වර්ග එකතු කර ගත හැකියි. තම සෞඛ්‍යය රැකෙන පරිදි නිවැරැදි ආහාර රටාවකට හුරු වීම අමාරු නැත. දෛනිකව ව්‍යායාම් කිරීමේ හොඳ පුරුද්දටද ඔබ නැවතත් අනුගත වීමට අවශ්‍යයි.

ළමයින්ගේ කෑම බීම ගැනත් සැලකිලිමත් වෙමු

හැදෙන වැඩෙන දරුවන් කෙතරම් කෑම බීම ගත්තද ඔවුන්ගේ ආහාර රටාවට සීමා පැනවීම වැඩිහිටි අප නොකරන දෙයකි. මන්ද දරුවන්ට ශක්තිය ලබා ගැනීම සඳහා හැදෙන වැඩෙන වයස් සීමාවට එවැනි තහංචි උචිත නැතැයි අප සිතන නිසාවෙනි. එය වැරැදි මතයකි. දරුවන් වුවද ක්‍රියාශීලී බවින් මිදුණ හොත් අනාගතයේදී ඔවුන්ද රෝගී වීම වලක්වා ගත නොහැකිය.

දින චරියාව අලුත් කර ගනිමු

එබැවින් දිනකට පැයක් දෙකක් පමණ හොඳින් දහදිය පිටවන පරිදි ක්‍රීඩාවක නිරත වීමට දරුවාට ඉඩ සලසා දිය යුතුයි. එසේම තද අව් රශ්මිය නොමැති එළිමහනක් නම් වඩා සුදුසුය.

හොඳින් ජලය පානය කිරීමත් හොඳ සෞඛ්‍ය පුරුද්දකි. පිපාසය එනතුරු නොසිට හැකිතාක් පිරිසුදු ජලය පානය කිරීමට වගබලා ගන්න. එය නිරෝගී දිවි පැවැත්මකට ඇවැසිම කාරණාවකි.

වැඩිහිටි පුද්ගලයකු නම් දිනකට ලීටර් දෙකහමාරත් තුනත් අතර ප්‍රමාණයක් ජලය පානය කළ යුතුය. දරුවන් සඳහා එය වයස් මට්ටම් අනුව මිලි ලීටර් 700,ලීටර්01,ලීටර් 02 දක්වා විය හැකියි.

මූලිකවම තෙල්,ලුණු,සීනි සහ පිටි මෙන්ම රසකාරක අඩංගු කර තැනූ ආහාරවලින් වැලකීමද පුරුද්දක් වශයෙන් දෛනික චර්යාවට එකතු කර ගැනීමටත් අමතක නොකරමු.

-සටහන- මාධවී ධර්මරත්න