(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වරදක් කර නොමැති බැවින් තනතුරු අහිමිවීම ගැන කිසිම කණගාටුවක් නැතැයි බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.
තමන්ගේ ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභා සාමාජිකත්වය හා මහරගම ආසන සංවිධායකධූරය යන තනතුරු අහිමි කිරීමට පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇත්තේ කවර හේතුවක් නිසාදැයි තමන් නොදන්නා බවද ඉසුර දේවප‍්‍රිය මහතා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහය ලබාදෙන අපේක්‍ෂකයා දිනවීම වෙනුවෙන් පැවැත්වෙන රැස්වීමකට සහභාගීවීමේ වරදක් තමා නොදකින බවද ඔහු සඳහන් කළේය.
තමාට එම රැස්වීමේදී හෝමාගම ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු බව කී හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා වෙනත් අයට මෙන් තමාට ජනතාව ‘හූ’ කීවේ නැතැයිද ප‍්‍රකාශ කළේය.
තමන් කිසිවිටෙකත් එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පෙනී සිට නැතැයි කී ඉසුර දේවප‍්‍රිය මහතා පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේදී තමාට තනතුරු අවශ්‍ය නොවන බවද කියා සිටියේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයදීම සම්බන්ධයෙන් මුල් කාලයේදී පක්‍ෂය තුළ මත දෙකක් තිබූ බව කී දේවප‍්‍රිය මහතා තමන් මුල සිටම කටයුතු කළේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දිය යුතුය යන මතයේ සිට බව ද සඳහන් කළේය.
අවසානයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයදීමට පක්‍ෂය ගත් තීරණය අනුව තමන් හෝමාගම පැවති රැස්වීමට සහභාගී වූ බවත් එයින් තමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වරදක් කර නොමැති බවත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
කවුරුහරි යමක් කුණු කූඩේට දමන්නේ ප්‍රයෝජනවත් බවක් නොහැඟෙන නිසානේ. සමහර අය හිතුවාට කුණු වලින් වාසි ගන්න ටික කලක් යනකොට තමයි තේරෙන්නේ කුණු කුණුම තමයි කියලා. හිටපු ජනපතිවරු ඔය බව දැනගෙන හිටියා...
ශ්‍රීලනිප බෙදන හැන්ද නම් අපූරුයි. 2015 ජනවාරි 8 අගමැති පත්කලා අපුරුයි. 2015 මැතිවරණයේදී ශ්‍රීලනිප නායක අගමැති කරන්නේ නැතෙයි කීවා අපුරුය.19ට අත උස්සා මගේම බෙල්ල කපා ගත්තා අපුරුය. තව මොන මොන දේවලට මේ හැන්ද පාවිච්චි කරයිද? දෙයියො දනී.
මේ රටේ කොයි දේශපාලුවද තමන් වරදක් කළ බව පිළිගන්නේ...? අනික කෙනෙක් වරදක් කළාද? නැද්ද කියලා තමන්ටම විනිශ්චයක් දී ගන්න බැහැ නොවැ... කොහොමත් ඕනෑම කෙනෙකුගේ නිදහසට කරුණු කියන්න අවස්ථාවක් දිය යුතුමයි. අන්න ඒ වෙලාවට ඕවා කිව්වා නම් හරි. අපට කිව්වා කියලා වැඩක් තියෙනවයැ...
වැටී ඇති තැනින් ගොඩ ඒමට හදන්නේ නැතිව තව තවත් එරෙන්නේ ඇයිදැයි අපැහැදිලියි.
මොනවට කණගාටු වෙනවද? අටු කොටු පිරිලා මදිවට නමට පාසලකුත් තියෙද්දී... බොරුද මන් කියන්නේ...?
මහා ඇමති කම ලැබේවි. හොඳ පැකේජයක්. ඔයා දිනුම්...
වරදක් නොකළ නමුත් පශ්චාත් භාගය කෝටි ගාණක් වටිනවා.. රත්රන් පුටු ගේනවා වාඩිවෙන්න.
කොල්ලට පහුගිය දවස්වල හොයාගත්ත ගාන මදි නේද?