අපේ රටේ මේ දිනවල පවතින දැඩි සීතකාරී දේශගුණ තත්ත්වයත් ඊට පසුව වුවත් නිවසට ගොඩවෙන ගෙඩ රෝග ගණනාවකි. ඒ අතරිනුත් ආසාදන බොහොමයි. කුඩා දරුවන් පමණක් නොව යෞවනයන් , වයෝවෘද කණ්ඩායම්ද නිතරම ආසාදනවලට ගොදුරු වීමේ වැඩි නැඹුරුවක් පවතී.

ආසාදනවලට ඔරොත්තු දෙන පරිදි සිරුර හැඩගස්වා ගැනීම සේම නිවස හා ඒ ආශ්‍රිත පරිසරයද ආසාදනවලින් තොර කලාපයක් බවට පත් කර ගත හැකියි.

ඒ උදෙසා අප කළ යුතු වන්නේ සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු ක්‍රමවත් කර ගැනීමයි. එවිට ආසාදනවලින් පමණක් නොව රෝග ගණනාවකින්ම අපට සුරැකී සිටිය හැකියි.

♦ අත් දෙක පිරිසුදුව තබා ගැනීමේ වැදගත්කම

ආහාර පිසීමේ සිට කෑම ගැනීම දක්වාත් නිවස පිරිසුදු කිරීමේ කටයුතුවලදී පවා දෑතට නිදහසක් නොමැති තරම්ය. එබැවින් ප්‍රධාන ලෙසම දෑත් පිරිසුදුව තබා ගැනීම නිරෝගීව සිටීමේ ප්‍රධාන රහසයි. සබන් සහ සබන් වතුරින් දෑත් හොඳින් පිරිසුදු කර ගන්න.

♦ කිවිසුම් යාමකදී නිවැරැදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න

සීතල දේශගුණය නිසා බොහෝ දෙනකුට මේ දිනවලදී සෙම සහිත රෝග, කිවිසුම් යාම් වැඩිපුර ඇතිවිය හැකියි. එබැවින් කිවිසුම් යාමේදී තම වැළමිට ආධාර කර ගත යුතුයි. ඉතා අනාරක්ෂිතව කෙළ බිඳිති පිටතට විසිරෙන පරිදි කිවිසුම් නොයවා අඩුම තරමින් ටිෂූ කඩදාසියක්වත් භාවිත කළ හැකියි.

♦ ඔබගේ දෑතේ, දෙපාවල සීරීමක් හෝ තුවාලයක් ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වන්න.

දැඩි වර්ෂාපතනයත් සමග බොහෝ විට අපිරිසුදු ජලය ඇල්ලීමට ,පෑගීමට ලැබෙන ඉඩකඩ වැඩියි. අපිරිසුදු ජලයට තුවාල නිරාවරණය වීමෙන් ඒ මගින් විසබීජ සිරුරට ඇතුළු විය හැකියි. එමගින් සංකූලතා වැඩි කරන අතර තුවාල නිසි පරිදි පිරිසුදු කර බෙහෙත් දමා ආවරණය කර තැබීමට පුරුදු වන්න.

♦ සෙම්, සොටු, කෙළ අවට තැන තැන ගැසීමද හොඳ නැත.

ඉතාම අයහපත් පුරුද්දක් සේම වෙනස්කර ගත යුතු දෙයකි. මෙය තමන් නිසා තවත් පුද්ගලයන් ගණනාවකගේම නිරෝගීභාවයට තර්ජනයකි. අපි පිරිසුදුව සෞඛ්‍යසම්පන්නව සිටිනවා සේම තවත් පුද්ගලයකුගේ නිරෝගී පැවැත්මට තර්ජන එල්ල නොකොට එය තහවුරු කිරීමේ යුතුකමක්ද අප සතුව ඇත.

♦ තමා පුද්ගලිකව පරිහරණය කරන දෑ හවුලේ භාවිතයෙන් වලකින්න.

මූලිකවම තමාටම වෙන් වූ තුවාය, පිඟන් කෝප්ප, ඇඳ ඇතිරිලි වැනිදෑ තවත් කෙනකු සමග හවුලේ භාවිතය සුදුසු නැත. එමගින් ඉතා පහසුවෙන් හා ඉක්මනින් ගෙඩ රෝග වැළඳීමට පුළුවන.

♦ හොඳ ආහාර රටාවක් කියන්නෙම නිරෝගීභාවය සනාථ කරන ප්‍රධාන සාධකයක්.

දිනපතාම වාගේ අලුත් එළවළු, නැවුම් පලතුරු විවිධත්වයක් ඇතිවන පරිදි කෑම පිඟානට එකතු කර ගන්න.

♦ පිරිසුදු ජලය අවශ්‍ය තරම් පානය කරන්න.

ලීටර් දෙකහමාරත් තුනත් අතර වන දෛනික ජල අවශ්‍යතාවත් සම්පූර්ණ කර ගන්න.

♦ අපිට බලපාන රෝග කාරක ගැන කල්තියා දැනුම්වත් වන්න. සූදානම් වන්න. පෙරතියා පිළියම් යොදන්න.

♦ අපට හානිදායී සතුන් බෝ වීමේ ක්‍රම අසුරා තබන්න.

විශේෂයෙන් කැරපොත්තන්,හූනන්, මීයන් බෝ වන්නේ අපිරිසුදු දෑ ගොඩ ගැසීමෙනි. සතුන් බෝ වූ විට තවත් තර්ජනයකි. සතුන්ගේ මළ මුත්‍ර ජලය හා මිශ්‍ර විය හැකි බැවින් නිවස සහ වටපිටාව පිරිසුදු කරන්න.

♦ නිවෙස් හා අවට පිරිසුදු කිරීමේ කටයුතුවලදී දෑත් අනාරක්ෂිතව බාහිර පෘෂ්ඨ සමග ගැටීමට ඉඩ නොතබන්න

අත් ආවරණ සහ බුරුසු ආදිය ඒ සඳහා යොදා ගත හැකියි.

ඉහතින් දැක්වූයේ අපට එදිනෙදා අමතකව යන සරල පුරුදු කිහිපයක් පමණි. සරල පුරුදු දෛනිකව ක්‍රියාත්මක කිරීම සහ පවත්වා ගැනීමෙන් තමා මෙන්ම නිවැසියන්ගේ සුවතාවද ඔබට සහතික කළ හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න