( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයට පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා කොළඹ අභියාචනාධිකරණයේ අද (14) රිට් පෙත්සමක් ගොනු කළේය.
බැදුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සොයා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා අවසන් වාර්තාවේ නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ මත අජිත් නිවාඩ් කබ්රාල් මහතා අත්අඩංගුවට ගෙන රදවා ගෙන ප්‍රකාශ සටහන් කරන ගන්නා ලෙසටත් , ඔහුට විරුද්ධව නඩු පැවරීම් කටයුතු කරන ලෙසට නියෝග කරමින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සමින් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති , පොලිස්පති , අජිත් නිවාඩ් කබ්රාල් මහතා , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , මහ බැංකු නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී .ප්‍රනාන්දු මහතා නම් කරනු ලැබ සිටිති.
දකුණ, මධ්‍ය හා ඌව පළාත් හි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කළ පෙත්සමින් සදහන් වන්නේ 2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා කාල සීමාව තුල මහ බැංකු අධිපති ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2021 සැප්තෑම්බර් 13 දින දක්වා කටයුතු කර ඇති බවය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බැඳුම්කර වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂමක් පත් කල බව ද, එහි නිර්දේශයක් ලෙස සිදු කළ වෝහාරික විගණන වාර්තාව මගින් වගඋත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් කරුණු ගණනාවක් හෙළි කර ඇති බවද පෙත්සම්කරු කියා සිටී.
වෝහාරික විගණන වාර්තාව මගින් හෙළි කර ඇති කරුණු සම්බන්ධයෙන් අපරාධමය චෝදනා එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මක විය යුතු බවත්, ඔහු නැවත මහ බැංකු අධිපති ධූරයට පත් වන්නේ නම් මෙම සාක්ෂි විනාශ කිරීමට ඇති ඉඩ වලක්වාල ලෙස ද, පෙත්සමින් ඉල්ලා ඇත.
ජනාධිපති කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තා ගණනාවකට සම්බන්ධ පාර්ශවයන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.
හිටපු මහබැංකු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට නැවත පත් කිරිම මගින්, අපරාධමය වරදකට සම්බන්ධ මහ බැංකුවේ සතු සාක්ෂි විනාශ කිරීමට, වෙනස් කිරීමට හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අවස්ථාවක් හිමිවන බවත් , මහ බැංකුවේ සිදුව ඇති මහ පරිමාන දුෂණ හා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර එයට සම්බන්ධ පාර්ශවයන්ට නඩු පැවරීම සිදු කරන ලෙස ද හිටපු ආණ්ඩුකාරවරයා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.
වොහාරික විගණන වාර්තාවේ අති විශාල චෝදනා සංඛ්‍යාවක් එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද, මුදල් පනතේ 12 වගන්තිය අනුව, ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යවරුන්ට අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ කිසිදු තනතුරක් සඳහා පත් කිරීම වලක්වන ලෙස ද,අපරාධමය වරදක් පිළිබඳ සාක්ෂි වෙනස් කිරීම, විනාශ කිරීම හෝ වෙනස් කිරීම සිදු කළ හැකි බැවින් අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති ධූරය සඳහා පත් කිරීම වලක්වන ලෙස ද, පෙත්සම මගින් ඉල්ලා ඇත.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට විරුද්ධව නීති මගින් කටයුතු කරන ලෙස නියෝග කරමින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට මැන්ඩමූස් ආඥාවක් නිකුත් කරන ලෙස ද, හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් ඉදිරිපත් කළ පෙත්සම මගින් ඉල්ලා ඇත.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් පෙත්සම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න පුළුවන් උනොත් මෙන්න නියම වැඩ.
ගොඩක් හොඳයි...
රංජිත් මහතාට දීර්ඝායුෂ ලැබේවා. පවුල් පාලනයක අහිතකර ප්‍රතිඵල. රාජපක්ෂවරු තමයි රට කන්නේ. ජනපති, අගමැති සහ මුදල් ඇමති.. රට විශාල අවදානමක ඇති බව නම් පේනවා.
දැන් ඉතින් පත්කරලා ඉවරයිනේ බොස්... ඔය නඩු තීන්දුව දෙනකොට 2025 විතර වෙයි. එතකොට කබ්රාල්ගේ කාලයත් ඉවරයි...
ආණ්ඩුවේ නරි මොනවා කීවත්... මෙය විශිෂ්ඨ අදහසකි...!
මටනම් තියෙන්නේ ඔය ප්‍රශ්නෙටත් දක්ෂ අදක්ෂ භාවයටත් වඩා එක්තරා දේශපාලන පක්ෂයක් නියෝජනය කරන ලද කෙනෙක්ට ස්වාදීන ආයතනයක අධිපතිවරයා වීම කොතරම් සදාචාරාත්මකද යන්නයි
මහ බැංකුව ස්වාධීන ආයතනයක් වියයුතු බව මුදල් නීති පනතින් පෙන්වාදී ඇත. එයට හේතුව රටේ ආර්ථික ස්ථායිතාව රැකගැනීමේ මූලික අරමුණ ඉටුකරගැනීමට දේශපාලන හෝ වෙනත් අගතීන්ගෙන් තොරව තීන්දු තීරන ක්‍රියාත්මක කලයුතු බැවිනි. රටේ මිල ස්ථායිතාව රැක ගැනීමත් රැපියලේ දේශීය අගය මෙන්ම විදේශ අගය රැක ගැනීමත් ආර්ථිකයේ ප්‍රගමනය සදහා අත්‍යාවශ්‍ය සාධකයකි. දේශපාලන මැදිහත්වීම මුල්කරගෙන මුද්‍රිත මුදල් අළුතින් සංසරනයට එක්කිරීම තුලින් රටේ මිල ස්ථායිතාවට බධාවී මිල ම්ට්ටම් ඉහලයාම වර්තමානයේ දැකියහැකිවීම උදාහරනයක් වශයෙන් පෙන්වාදිය හැක. එබැවින් මෙවැනි දේශපාලකයින් මහ බැංකුව මෙහෙයවන්නන් වීම තුල බැංකුවේ මෙන්ම ජාතියේ අරමුණු ඉටුකැනීමට බාධාකාරීවන බව පෙනෙන්නට තිබේ.
කෝටි 75 නියමෙට වැඩ.
පාස්කු ප්‍රහාරය ගැන සොයන්න පත්කරපු ජනාධිපති කොමිසම සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව නඩු දාන්න ඇති හැකියාව සොයන්න කියලා නිර්දේශ කලානේ. දැන් මෙයාට පුළුවන්නේ එකටත් නඩුවක් දාලා එතුමාව උසාවි ගේන්න.
ලෝකේ වැඩියෙන්ම නඩු තියෙන රට හැටියට ගිනස් පොතට වාර්තාවක්.
උදේ දවල්, රෑ බඩගිනි වෙන එකට අතුරු තහනම් නියෝගයක් ගන්න බැරි වෙයිද.?
රජයේ ඉහල තනතුරු වලට පත් කිරීමේදී සුදුසුකම් ගැන පරික්ෂා කිරීමක් සිදුවනවා. එතකොට මෙවැනි පත් කිරීම් පිළිබඳ පරික්ෂා කිරීමේ කමිටුවට ඔය කියන නුසුදුසු කම් ඉදිරිපත් වනවාද ? නොඑසේ නම් එම ක්‍රමයේත් බොහෝ හිඩැස් තිබෙනවානේද?