
(සමන්ත යහම්පත් සහ ඩයනා උදයංගනී)
මෙරට සංගීත ක්‍ෂේත්‍රයට සුවිසල් දායකත්වයක් ලබාදුන් ප්‍රවීන ගායන ශිල්පී, සංගීතඥ, සංගීත් නිපුන්, මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද (28) පෙරවරුවේ සිය දිවිසැරිය නිමා කළේය.
ඔහු ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද කටයුතු කළේය.
සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිය.
සංගීතඥයෙක්, ගායන ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් හා ගී පද රචකයෙක් වූ ඔහු දශක ගණනාවක් පුරා රසික හදවත් ජයගෙන සිටියේය.
1942 වසරේ පෙබරවාරි මස 15 වැනිදා ගොතටුවේදී උපත ලැබූ සනත් නන්දසිරි මහතා 1955 දී එනම් ඔහුට වයස අවුරුදු 13 දී ජාතික ගුවන්විදුලියට සම්බන්ධ විය.
අනතුරුව ඔහු වයස අවුරුදු 17 දී ඩී. ආර්. පීරිස් මහතා යටතේ තබ්ලා වාදනය වැඩිදුර හැදෑරීය.
ඉන්දියාවේ භාත්ඛාණ්ඩේ විශ්ව විද්‍යාලයට 1960 වසරේ දී එනම් 19 හැවිරිදි වියේ දී සම්බන්ධ වූ සනත් නන්දසිරි මහතා උස්තාද් අහමඩ් ජාන්ල ජී.එන් නාටු, උස්තාද් මොක්ෂට් අලි, පණ්ඩිත් හරි ශන්කර් යන ප්‍රවීණයන් යටතේ අධ්‍යාපනය ලබා එහි පරීක්ෂණවලින් ඉහළින් සමත්ව තබ්ලා හා ගායන විශාරද උපාධි හිමිකරගත්තේය.
ඉන් අනතුරුව මෙරටට පැමිණ සංගීත ගුරුවරයකු ලෙස අම්පාර, උහන මහා විද්‍යාලයට 1965 වසරේදී පත්වීම ලබාගත් ඔහු 1988 සිට 1992 දක්වා කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.
ප්‍රවීණ ගායන ශිල්පිනියක වන මල්කාන්ති නන්දසිරි මහත්මිය සමඟ 1971 වසරේ දී විවාහ වූ ඔහුගේ එකම දියණිය වන අනුරාධා නන්දසිරි මහත්මිය ද ගායන ශිල්පිනියකි.
සනත් නන්දසිරි මහතා 1992 වසරේ දී සංගිත් නිපුන් උපාධිය ලබාගත් අතර, එම උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද සනත් නන්දසිරි මහතාය.
“මම නම් ආසයි අහන්න නයනා”, “වරදක් කළත් සිතකින් නොවෙයි”, “දඟකාර ඔය දෑස දුටුවා එදා”, “විකසිත වත කමලේ”, “එදා මෙදා තුර”, “ඇවිලුනු ගිනිදැල්”, “මුලු ලොව මගෙන් අසාවි”, “යශෝදරා”, “එක යායට මල් පීදුණු බිම් තීරේ”, “සොවින් පිරි මගේ හදවත.”, “දූ අනුරාධා”, “ලස්සන නම් නෑ පෙනෙන්නේ”, “ඈත එපිට ගම්මානෙන්”, “බෝ මලුවේ මල් සුවඳක පැටලී”, “ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ”, “ආදර සැමරුම් කැටිවූ”, “පෙමාතුර හැඟුම්”, “වාසනා වේවා”, “මම නම් ආසයි අහන්න නයනා”, “නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්”, මේ ප්‍රථම වසන්තයයි” ආදී අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහු සිය රසිකයන් වෙත තිළිණ කළේය.
ඔහු ගායනා කළ බොහෝ ගීතයන් හි තනු නිර්මාණය කරනු ලැබුවේ ද ඔහු විසිනි.
ඔහු තම බිරිඳ වන මල්කාන්ති නන්දසිරි මහත්මිය සමඟ ද ‘හිච්චි නගේ’ සහ ‘සීත රෑ වසන්තේ’ ආදී ගීත ගණනාවක් ගායනා කළේය.
ඔහු පළමු ගී ප්‍රසංගය ‘ස්වර්ණ කුණ්ඩල’ නමින් 1974 වසරේ දී පැවැත්වුණු අතර, ඔහුගේ පළමු ගී තැටිය ද එම නමින්ම ජෙම්ටෝන් ලේබලය යටතේ 1979 වසරේ දී නිකුත් විය. ඉන්පසු ඔහු සින්ග් ලංකා ලේබලය යටතේ ද ගී තැටි ගණනාවක් නිකුත් කළේය.
‘සැඩොල් කඳුළු’, ‘හරි මග’, ‘හන්තානේ කතාව’, ‘සමනල කුමරියෝ’, ‘හතරවටේ’, ‘අහස් ගව්ව’, ‘දුලීකා’, ‘වසන්තේ දවසක්’, ‘සැනසුම’, ‘මංගල තෑග්ග’, ‘සළඹක් හඬයි’, ‘විරාගය’, ‘හංස විලාපය’, ‘ඉන්ද්‍රඛීලය’ වැනි චිත්‍රපට රැසක් සඳහා ද ඔහු ගීත ගායනා කළේය.
ඔහු එම ගායනාවන් වෙනුවෙන් ජනාධිපති, සරසවි ආදී සම්මාන රැසකින් ද පිදුම් ලැබීය.
‘ගාන්ධාරී’ නමින් සංගීත ආශ්‍රමයක් ද 1982 වසරේ දී ආරම්භ කළ ඔහු එහි දී භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලය සඳහා අවශ්‍ය පාසල් විෂය නිර්දේශය ඉගැන්වීය.
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන්ගේ අභාවයෙන් පසු 2016 වසරේ දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා ඔහු පත්විය.
ගොතටුව මහා විද්‍යාලය, දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහල, මහබෝධි මහා විද්‍යාලය යන පාසල්වලින් අධ්‍යාපනය ලබාගත් සනත් නන්දසිරි මහතා ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවේ ස්ටැෆර්ඩ් විද්‍යාලයෙනි.
ඔහු පාසල් සමයේ දක්‍ෂ මලල ක්‍රීඩකයෙක් හා එල්ලේ ක්‍රීඩකයෙක් ද විය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ගැයූ ගීතය සැමදා අපාය හදවත්වල රැවු පිලි රැවු දෙනු ඇත. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
නිවන් සුව ලැබේවා
ඔබට නිවන් සුව පතමි.
එතුමා විශිශ්ඨ ගනයේ කලා කරුවෙක්. එතුමාට නිවන්සුව අත්වෙවා.
මූළු ලොව මගෙන් අසා වී ඔබ ගැන කුමක් කියම් දෝ!!!!!.තවත් එක් විශිෂ්ටයෙකුගේ නික්ම යෑම.අමා මහ නිවනින් සැනසේවා!!!
සුවහසක් රටේ ජනතාව අමානන්දයට පත්කල මියුරු කටහඩ,හැගීම්බර පද වැල්,අලන්කාර සංගීත රටා යොදමින් කල ගී නිර්මාණ වලින් අප හදවත් සනසාලූ ඔබ උතුමාණන්ට නිවන්සූව ප්‍රාර්ථනා කරමි.
ඔබට අමාමහ නිවස් සුව අත්වේවා.
අමාමහ නිවස් සුව අත්වේවා.
සිතූ සිතුම් සිඳීලා .. ..පැතූ පැතුම් බිඳීලා ..ජීවිතේ ගමන් විලාසේ ...! ඔබට සුබ ගමන්......!
දහස් ගණනක් හදවත් දහස් වතාවක් සැනසූ ඔබට සදා නිවන් සැප ලැබේවා.
දු අනුරාධා, ගමේ කෝපි කඩේ වැනි ගීත සමග ළමා කල ගෙවූ, ඔබේ සුවඳ පිරුණු පුංචි කාමරේ, ආදර සැමරුම් කැටිවුණු වැනි ගී සමග තුරුණු විය ගෙවූ මේ ප්‍රථම වසන්තයයි, මුළු ලොව මගෙන් අසාවි වැනි ගී සමග මැදි වියට එළඹී අපගේ පරපුර නැලවූ, සැනසූ සනත් නන්දසිරි සන්ගීතවෙදියානන්ට නිවන් සුව පතමු, සැම සදුදාවකම මනරම් ගී විග්‍රහයක් ලංකාදීපය හරහා අපට ලබා දෙන ශෂී ප්‍රභාත් වීරසිංහ මහතාණෙනි, සනත් නන්දසිරි ගයකයාණන් ගේ ගීයක විවරණයක් ලබන සතියේ අපට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.
සමුගන්නදෝ ආයෙ හමු වෙන්න දෝ... අවසන් සිනාවෙන්ම වෙන් වෙන්න දෝ.....
ඔබතුමා අගයල කුමක් කීවත් මදි මට- නිවන්සුවම අත්වේවා!
ඔබතුමාට නිවන්සුව ලැබේවා.!
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින් නිවනින් නිවේවා මහැදුරුතුමනි!
ඔබතුමා තම මවු බිම වෙනුවෙන් කල සේවයට හිස නමා ගෟරව කරන අතර අජරාමර උතුම් වූ අමාමහ නිවන් සම්පත්තියද ලැබේවායි කියා පතමි.
වැඩක් ඇති මිනිස්සු දවස ගානේ මැරිලා යනවා.
නිවන් සුව!
කල්ලි ගැසී නවකයින්ට අත නොදී දුටු තැන විවේචනය කරමින් සමාජයට බොරු මූණත්තතහඩු පෙන්නමින් බඩවියත රැකගන්නා ගුරුමුෂ්ඨි මාස්ටර්ලා අතර මෙතුමා ඉතා නිහතමානී සහ උත්සාහාවන්ත නවකයන්ට අතදුන් ගුරුපියෙකි.
නිවන් සුව ලබෙව ඔබතුමන්ට - නිහත්මානි දක්ෂ කලා ශිල්පියෙකුගෙ නික්ම යාම.
සැබෑම ගාන්ධාරයවරයෙක් ඔහු තුල කුසලතා පිරි සංගිතඥයෙක් මෙන්ම මනා හඬ පෞරුෂයක් හිමි ගායකයෙක්ද විය. ඔහු එක් අතකින් අමරදේවයන් නියෝජනය සම්භාව්‍ය සංගීත පරම්පරාව මෙන්ම ජෝතිපාල නියෝජනය කල ජනප්‍රිය ගීත පරම්පරාවද එකවර නියෝජනය කෙරුවේය. ඔහු සංගීත ඥාණය මෙන්ම ගායන කුසලතාවයද අද්විතියයි. සුබ ගමන් සොදුරු කළාකරුවාණෙනි !
ඔබගේ වියෝව මගේ හදවතට තදින්ම දැනුනා. ඔබ මෙහෙයවූ ස්වර්ණ කුණ්ඩල සන්ගීතමය ප්‍රසන්ගය මා අමන්දානන්දයට පත් කෙරුවා ගැඹුරු ලයාන්විත හඩින් .ඔබ ගැයු සෑම ගීතයක්ම රසවත්. ඔබතුමාට අමාමහ නිවන්සුව අත්වේවා !