(මනෝප්‍රිය ගුණසේකර)

‘මිහින් ලංකා’ ගුවන් සමාගම සඳහා ගුවන් යානා සහ කාර්ය මණ්ඩල ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටියට එරෙහිව කටයුතු කරමින් ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කර රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (16) නඩු පැවරීය.

වසර 19කට පෙර ‘මිහින් ලංකා’ ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරමින් රජයට පාඩු කිරීම සඳහා කටයුතු කිරීම තුළින් අල්ලස් පනත යටතේ දැක්වෙන ‘දුෂණය’ නමැති වරද කර ඇතැයි චෝදනා කරමින් කොළඹ 08 ග්‍රේනියස් පාරේ පදිංචි සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.

 2007 ජනවාරී පළමුවැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලය තුළදී ‘මිහින් ලංකා’ ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරමින් නිතී විරෝධී අන්දමින් තමාට ලාභයක් ගැනීමට හෝ වෙනත් පාර්ශවයකට ලාභයක් ලැබෙන බව දනිමින් නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකරමින් ඒ-320-200 ගුවන් යානය බදු පදනම යටතේ ලබාගැනීම සඳහාද ඒ-321-131 ගුවන් යානය සහ එහි කාර්්‍ය මණ්ඩලය බදු පදනම යටතේ ලබාගැනීම සඳහාද ‘මිහින් ලංකා’ ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

එම ක්‍රියා කලාපය තුළින් ‘බෙස්ට් එයාර් ලයින්’ ගුවන් සමාගමට වාසි සැළසෙන අයුරින් කටයුතු කිරීමෙන් අල්ලස් පනත යටතේ දැක්වෙන ‘දුෂණය’ නමැති වරද කර ඇති බවට විත්තිකරුට එරෙහිව චෝදනා නඟා ඇත.

2007 මාර්තු 09 වැනිදා ‘මිහින් ලංකා’ ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරමින් ඒ-321-131 ගුවන් යානය සහ එහි කාර්්‍ය මණ්ඩලය සඳහා ඇමරිකානු ඩොලර් 267100/-ක ‘පර්ඩියම්’ දීමනාව ගෙවීමට ‘බෙස්ට් එයාර් ලයින්’ ගුවන් සමාගම සමඟ ගිවිසුම් ගත වීමෙන් රජයට පාඩු කිරීමෙන් අල්ලස් පනත යටතේ දැක්වෙන ‘දුෂණය’ නමැති වරද කර ඇති බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

1994 අංක 20 චරණ පනතින් සංශෝධිත අංක 11 දරණ අල්ලස් පනතේ 70 වැනි වගනිත් උල්ලංඝණය කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇත.