IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ශ්‍රීලනිපයෙන් රටත් ජනතාවත් මුදා ගන්න යෝජනා

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සහ ජනතාව වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

වත්මන් අර්බුදකාරී වාතාවරණය තුළ උද්ගත වන දේශපාලන අස්ථාවරත්වය නිරීක්ෂණය කරමින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන බවත්, මෙම අර්බුදකාරී තත්වයෙන් රටත් ජනතාවත් මුදාගැනීමට තම පක්ෂය දියත් කරන ක්‍රියා පිළිවෙත සමග ඒකරාශී වන ලෙස මහජනතාව ඇතුළු සියලු පාර්ශවයන්ට ආරාධනා කරන බවත් එම පක්ෂය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (4) රැස්වූ අවස්ථාවේ කෙටුම්පත් කර, අද (5) පැවැත්වූ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී සම්මත කර ඇති එම යෝජනාවලිය මෙසේය.

* ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගොඩ නැගෙන්නේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන්නේත්, ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික සංවර්ධන ඉදිරි වැඩපිළිවෙල සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවක් මත බව පළමුව සිහිපත් කරනු කැමැත්තෙමු.

* ජනතාව ‘සෞභාග්‍යයේ දැක්ම’ වැළඳ ගත්තේ හුදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් පමණක් ලෙස නොවේ. එය 1977න් පසුව ක්‍රමානුකූලව අකර්මන්‍ය කරනු ලැබුවා වූ ස්වදේශිකවාදී ආර්ථික, දේශපාලනික, සමාජමය ප්‍රතිපත්තිමය සැළසුම් නිසා ඇද වැටෙන ජාතික රාජ්‍යය දෙපයින් නගා සිටුවීමේ සම්මුතියක් ලෙස වටහා ගත්තද, වත්මන් ආණ්ඩුව විසින් තීන්දු නොගැනීම සහ ගනු ලබන්නා වූ තීන්දු තීරණ වල අනිසි බලපෑම් හා අර්බුද කළමනාකරණ දුර්වලතාවන් සම්බන්ධයෙන් ජනතාව දැඩි කළකිරීමට පත්ව සිටී. ඒ අතරතුර දිනෙන් දින උග්‍ර වන අර්බුද රාශියක් ඔස්සේ දේශපාලන අස්ථාවරත්වයක් දක්වා තල්ලු වෙමින් තිබෙන බව නම් පැහැදිළි ය. අන් කවර කලකටත් වඩා බුද්ධි ගලනය උත්සන්න වීමට මෙයද එක් හේතුවකි.

* ආර්ථික අර්බුදය, කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය නිසා පමණක් උද්ගත වූවක් නොවේ. පැවති ආර්ථික අර්බුදය, ගෝලීය වසංගතයේ බලපෑම නිසා නිරාවරණය වීමත්, උත්සන්න වීමත් සිදු වීය. ලෝකයේ හොඳම සෞඛ්‍යය ව්‍යාප්ති සේවයක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමකට ලක්ව තිබුණද, කොවිඩ් වසංගත තත්ත්වය කළමනාකරණයේදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් ඇතැම් අවස්ථා වලදී විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකූළ නොවිනි.

* ඌණ සංවර්ධනය, සමාජ සාධාරණත්වය, යුක්තිය, නීතිය හා සාමය වැනි ක්ෂේත්‍රයන්හි කාලාන්තරයක් මුළුල්ලේ පැවති දුර්වලතා සමනය කරමින් සංවර්ධනය වේගවත් කිරීමටත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත් නව ව්‍යවස්ථාවක් ඉක්මනින් සම්පාදනය කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කළේය. එසේ හෙයින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කෙරෙන නව ව්‍යවස්ථාවක් වසරක් තුළ සම්පාදනයට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි.

* ආණ්ඩුකරණයේදී විනිවිදභාවය හා වගවීම පිළිබඳ වර්තමානයේ සෑහීමකට පත්වීමට හැකියාවක් පවතීද? නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාශය තහවුරු කිරීම සඳහා සහ ආණ්ඩුකරණයේ විශ්වශනීයත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට රටේ විවිධ ස්ථානයන්හි වාර්තා වන වංචා දූෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහ වහා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

* හරිත ගොවිතැන ඉතා වැදගත් සංකල්පයක් වුවද, එය ක්‍රියාවට නැංවීමේදී ගනු ලැබූ අවිද්‍යාත්මක තීරණ මෙන්ම, උද්ගත වූ ප්‍රායෝගික ගැටළු හේතුවෙන් ගොවීන් අතර එම සංකල්පය පිළිබඳව ඇතිවී ඇත්තේ විරෝධාකල්පයකි. එම ප්‍රායෝගික ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව දැඩි අර්බුධයකට ලක්වී ඇත. එසේම විදේශ සංචිත සිඳී ගිය තත්ත්වයක් තුළ, තේ ඇතුළු අපනයන භෝගයන්හි නිෂ්පාදනයද දැවැන්ත ලෙස කඩාවැටීම නිසා ශ්‍රී ලංකාව දැන් මුහුණ දෙන්නේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට බව සඳහන් කළ යුතුමය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුවන බව පිළිගන්නා ආණ්ඩුව, ජාතික නිෂ්පාදන ධාරිතාවන් ඉහළ නැවීමට හා වියදම් අඩුකිරීමට ක්‍රමෝපායික පිළිවෙත් අනුගමනය කර ඇත්ද? ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 3කට ආසන්න වේ. එසේ හෙයින් මෙවර මහ කන්නයේ අස්වනු හානිය නිසා ඇතිවන සහල් හිඟය පියවීමට ආණ්ඩුව වහා පියවර ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එසේම වගා හානි පූර්ණය සඳහා මුල්‍යමය වශයෙන් වී ගොවීන්ට මෙන්ම තේ, කුරුඳු, ගම්මිරිස් වැනි අනෙකුත් සුළු අපනයන භෝග වගාකරුවන්ටද සහන සැලසිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.

* වත්මන් අර්බුද කිසිවක් එකිනෙකින් වියුක්ත ඒවා නොවේ. බලශක්ති අර්බුදයට එකම හේතුව ගල් අඟුරු හෝ තාප බලාගාර ඉදිනොවීම යැයි යම් පාර්ශව අගතිගාමී ලෙස ඒත්තු ගන්වන්නට උත්සහ කළද, ඇත්තෙන්ම අද සිදුවී ඇත්තේ ඉන්ධන නොමැතිවීම නිසා බලාගාර අක්‍රිය වීමය. එය ආර්ථික අර්බුදයේම අතුරු ඵලයකි. කෙතරම් සුදුසු ස්වභාවික පාරිසරික වාතාවරණයක් පැවතියද සූර්ය ශක්තිය ඇතුළු සෙසු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගැන සැලකිවයුතු අවධානයක් කඩිනමින් යොමු කිරීමද ඉතා වැදගත් ය. එසේම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් මතුවී ඇති ආයතනික හෝ තාක්ෂණික බාධා නොපමාව ඉවත් කිරීමටද රජය කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

* අර්බුද උත්සන්න වත්ම, ස්වදේශික සම්පත් හා ජාතික වත්කම් කුණු කොල්ලයට විකුනා දැමිම වැනි කුරිරු ආර්ථික කළමනාකරන උපාය මාර්ගය දක්වා ආණ්ඩුව තල්ලු කරන, රට තුළ ක්‍රියාත්මක අවස්ථාවාදී ආර්ථික ඝාතක ඒජන්තයින්ගේ ක්‍රමෝපාය මනාව හඳුනා ගනිමින් ඒවා නිසි ලෙස කළමනාකරණයටද ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරයි.

* අහාර ද්‍රව්‍ය හිඟය කවර නම් වියවුල් සහගත සමාජ වටාපිටාවක් නිර්මාණය කරනු ඇත්දැයි සිතීම අසීරු ය. පෝෂණ ඌනතා නිසා අනපේක්ෂිත ලෙස සමාජයේ දිළිඳු ජන කොටස් (විශේෂයෙන්ම දරුවන් හා ගැබිණි මවුවරුන්) මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දීම නිසා ජාතික සංවර්ධන අභිලාෂයන් දශක ගණනාවක් ආපස්සට යා හැකි බැවින්, ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.

* මෙම තත්ත්වයන් සුවිශේෂීව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, ආර්ථික සුරක්ෂිතතාව හා ජෛව සුරක්ෂිතතාව යන සිව් වැදෑරූම් ක්ෂේත්‍ර වල බරපතල අර්බුද උද්ගතවීමේ අවධානම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.

* රටපුරා මතුවී උත්සන්න වන අක්‍රමවත් ආණ්ඩු විරෝධය ඉඟි කරන්නේ ඉහතකී අර්බුදයන් නිසා උද්ගත වන දේශපාලන අස්ථාවරත්වය යි. මෙම අස්ථාවරත්වය සාධනීය ලෙස කළමනාකරණයට වත්මන් ආණ්ඩුව නොපමාව පියවර ගත යුතුයැයි අපි සිතමු.

* මෙම සුවිශේෂී පසුබිම ජාතික අර්බුදයක් හෙයින් එය විචක්ෂණශීලීව හා ඵලදායීව කළමනාකරණය කරනු පිණිස පටු පක්ෂ දේශපාලනික අරමුණු වලින් බැහැරව ජාතික විසඳුම් සාකච්ඡා කළ හැකි සර්ව පාක්ෂික ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි. එහිදී ජීවන වියදම් ගැටලුව, සියලු පරිමානයේ ව්‍යාපාරයන්හි ඇතිවී ඇති ඇද වැටීම, ඩොලර් සංචිත අර්බුධය, ධීවරයන්ගේ ගැටළු ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින්, එම කමිටුවේ සියලු ශක්තීන් ඒකාබද්ධ කරගත් නිශ්චිත කාලරාමුවක් සහිත වැඩපිළිවෙලක් යටතේ, ඉහත කී සිව් වැදෑරුම් අර්බුදයන්ට පිලියම් සෙවීමේ කෙටි හා මධ්‍ය කාලීන වැඩ පිළිවෙලක් වහා කෙටුම්පත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.

* සියලු රාජ්‍ය ආයතන හා දේශපාලන පක්ෂයන්හි ප්‍රාදේශීය යාන්ත්‍රණයන් ඒකාබද්ධ කරගනිමින් යළ කන්නයේ වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ඇතුළු සෙසු යෙදවුම් පහසුකම් යුහුසුළුව තහවුරු කළ යුතුව තිබේ. ඊටම සමගාමීව, වෙනත් කෙටි කාලීන ධාන්‍ය බෝග ඇතුළු සෙසු ක්ෂේත්‍ර භෝග හා එළවලු, ක්ෂුද්‍ර හා සුළු පරිමාන ලෙස වගා කරවීමේ වැඩ පිළිවෙලක් තුළ සීඝ්‍ර ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් දියත් කරන ලෙසද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

* පලාත් පාලන හා පලාත් සභා නියෝජිතයින් පත්කර ගැනීමට ජනතාවට ඇති පරම අයිතිය තහවුරු කරමින් පලාත් සභා හා පළාත් පාලන මැතිවරණ නොපමාව පවැත්වීමේ අවශ්‍යතාවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.

* ඊටම සමගාමීව මෙම යෝජනා පදනම් කරගනිමින් වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදාගැනීමේ අප පක්ෂය විසින් දියත් කරන ක්‍රියා පිළිවෙත උදෙසා අප සමග ඒකරාශී වන ලෙස මහජනතාව ඇතුළු ඒ සඳහා කැපවන සියලු පාර්ශවයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරාධනා කරයි.

 



අදහස් (13)

ශ්‍රීලනිපයෙන් රටත් ජනතාවත් මුදා ගන්න යෝජනා

AJITH Saturday, 05 February 2022 10:56 PM

පසුගිය දශක 7ක් රටපාලනය කරමින් නොකළ හැකිවූ රටත්, ජනතාවත් මුදාගන්න යෝජනා වැඩ බැරි ටාසන්ලා විසින් නැවත කරලියට ගෙන ආ වගයි...! වසර පහෙන් පහට වෙස්වලා ගෙන පැමිණෙන්නා වූ ජනතා පුත්‍රයින්ගේ රැවටීමේ කලාවට තිතක් තැබීමට ජනතාව සූදානමින් සිටින බව කිව යුතුවේ.

:       0       2

RaveendraSunday, 06 February 2022 05:46 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. මේ තාක්කල් මුන් (පක්ෂ භේදයෙන් තොරව ලංකාවේ පාලන බලය ලබාගත් සියලුම පක්ෂවල ඉන්නා රීරි යක්කු) මහජන මුදලින් සියලු සැප සම්පත් ලබාදී බේරාගෙන තිබෙන්නේ තමන්ගේ අඹුදරුවන් හා ඥාති හැතිකරය බව නොරහසකි... එබැවින් තවතවත් මිනිස්සුන්ව රැවටීමට උත්සාහ කරන මන්ද බුද්ධිකයින් 226 මෙන්ම සුරංගනා කතා කියන ජෙප්පන්ටද දුටු තැන උපරිමයෙන්ම සංග්‍රහ කළ යුතුමයි. පක්ෂ බේදයෙන් තොරව මේ කාලකන්නින්ට තවතවත් රට විනාශ කිරීමට ඉඩ කිසිවිටකවත් නොදිය යුතුයි. මෙම අදහස් අපගේ මාතෘභූමිය මෙතෙක් කල් පාලනය කළ සහ අනාගතයේදී පාලනය කිරීමට "මග බලමින්, තලු මරමින් තටමන" ජෙප්පන්ටද‘‘ කියවීමට හැකි වේවා...!!! 

:       0       2

RaveendraSunday, 06 February 2022 08:32 PM

මොනවා වුණත් අපේ සිරි අයිය‍ා කියලා තියෙන්නේ නම් පරම සත්‍ය. මේ තාක්කල් අවුරුදු 5න් 5ට රට පාලනය කරපු එවුන් ආරක්ෂා කරලා තියෙන්නේ වෙනත් රටක් හා ඒ වෙනත් රටේ පුරවැසියන්... දැන් තමයි මේ සේරටම මතක් වෙලා තියෙන්නේ. රට සහ රටේ පුරවැසියන් ගැන... මේ 226ටම සංග්‍රහ කරන්න ඕනේ "සෙරෙප්පු වලින්ම" තමයි.

:       0       1

nimal Saturday, 05 February 2022 11:23 PM

දැන් යාලුවන් ගෝඨාභයගේ සිංදුව යද්දී කෝල් එක කට් කරනවා... තාත්තලාගේ ආණ්ඩු රටට කරපු හරිය ගැන පුතා පසුතැවෙයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන පුත්තු, දේශපාලන පියවරුන්ගේ පුතුන්, දූවරුන් හැර වෙනත් පුතුන් ලංකාවේ නැතිද...? ඕනෑතරම් සිටි ඔවුන්ට අවස්ථාවක් සලසා දීම අපේ එකම අරමුණ වේ...

:       0       3

Shan Saturday, 05 February 2022 11:49 PM

ඔය කරපු හරිය හොඳටම ඇති. පිනක්, දහමක් කරලා ඉන්න.

:       0       2

nanda Sunday, 06 February 2022 01:25 AM

මෙයාව විශ්වාස කරන්න එපා. පාස්කු දුක්කඳුළු සදා මතකයේ, මේ ගොල්ලන් හිටියා නම්, ප්‍රභාකරන් රටම අල්ලාගෙන..​.

:       0       3

Sunil Sunday, 06 February 2022 07:13 AM

පාස්කු ප්‍රහාරය පිළිබඳව පැහැදිලි විස්තර ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නොහැකි වූ නායකයින් කොහොමද රටත් ජනතාවත් මුදවාගන්නේ. පොහොට්ටුව සමග එකතු වී කළ විනාශය හොඳටම ඇති... ඔබවත් ගෙදර යවන්න.

:       0       4

Sam Sunday, 06 February 2022 07:19 AM

නුඹ ඔය ආණ්ඩුවේ නොවේද? නොඑසේ නම් එළියට ඇවිත් සටනට සැරසෙනු... බොරු කරන්නේ නැතිව...!

:       0       4

චන්දන Sunday, 06 February 2022 07:26 AM

මාතෘකාව කාලෝචිතයි... ශ්‍රී ලනිපයෙන් රට බේරාගන්න ඕනෑ...

:       0       5

ප්‍රේමසිරි Sunday, 06 February 2022 08:08 AM

සභාපතිතුමෝ තමුන්නැහැ 2015 එජාපයේ සහයෙන් බලලෝභී රනිල්ගේ උදව්වෙන් ජනාධිපතිවෙලා එජාපයේ පාක්ෂිකයින්ට 1994 සිට විවිධාකාර පළිගැනීම්වලට ලක්වීම් වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරීමට ඉඩ දුන්නේ නැහැ.. පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ආරක්ෂක මණ්ඩලය කැඳවීමටත් බාධා කළා කියලා එදිනම අහන්න ලැබුණා. එහෙම කෙනෙක් නැවතත් ආවොත් වෙන්නේ ඒකම තමයි.

:       0       6

p.d goonawardena Sunday, 06 February 2022 08:58 AM

ඔහේම ඕවා තියගන්න​. අපි දක්කා හිටපු කාලේ කරපුවා. ඒ කාලේ නොකරපුවා දැන් මොකටද​?

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 06 February 2022 12:56 PM

ශ්‍රීලනිපයෙන් රටත්, ජාතියත් බේරාගන්න. වර්තමාන නායකයා සිටියදී.. මෙන්න කියලා බේරාගනියි. ඇයි මීට පෙර බේරාගත් හැටි අපට හොඳටම මතකයි.

:       0       6

Bandara Monday, 07 February 2022 03:41 PM

අපිට මතකයි පාස්කුව...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site