(අංජුල මහික වීරරත්න)

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්  පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී අද (03) පස්වරුවේ සිදු විය. 

මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව,  ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහඳ කථා බහක නිරත වූ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය.

බෝරා ප්‍රජාව විසින් පසුගිය වසර හතරක් පුරා සිදුකළ ආගමික සේවාවන් ඇතුළු විවිධ වැඩසටහන් ඇතුළත් ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි.

බෝරා ප්‍රජාවේ ශ්‍රී ලංකා නියෝජිත කුසෙයිමා අබිඩාලි මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.