(පුෂ්පකුමාර මල්වආරච්චි)

පුරාවිද්‍යා, පරිසර,හා වනජීවී යන අමාත්‍යංශ තුනකට පැවරී තිබෙන එකම භූමිය වන ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ අක්කර සිය ගණනක කොළ රොඩු ඉවත් කිරීමට  ගෙන ඇති අවිධිමත් ක්‍රමවේදයක් නිසා පෞරානික පබළු, කාසි වැනි කුඩා පුරාවස්තුවල සිට ඇසට පෙනෙන නොපෙනෙන බොහෝ දේ විනාශවී යාමේ තර්ජනයක්  ඇතැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ.

මධ්‍යම සංස්කෘතික අරමුදල පොළොන්නරුව පුරාවිද්‍යා හා වන රක්‍ෂිතයේ මතුපිට ඇති ද්‍රව්‍ය ඉවත්කිරීම පෞද්ගලික සමාගමකට භාරදී තියෙනවා.

මතුපිට කොල රොඩු තට්ටුව සූරා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරුවන් මෙහි ඇති ඓතිහාසිකත්වය ගැන දන්නේ නැහැ. මහ පොලොවෙ පුරාවස්තු තිබෙන්නේ පස හා එකට සම්බන්ධ වෙමිනි. මෙය ඉතා පරිස්සමින් කළ යුතු කටයුත්තක් . මේ ඉවත් කරන පස් මිශ්‍ර කොල රොඩු අතර පබළු කාසි වැනි කුඩා පුරාවස්තුවල සිට ඇසට පෙනෙන නොපෙනෙන බොහෝ දේ තිබෙන්න පුළුවන්.

කැණීම් කරපු නොකරපු හැම තැනකම කුඩා මුරගල් ද තියෙනවා. මේ ක්‍රියාවලිය නිසි අධීක්ෂණයකින් සිදු නොකලහොත් ජාතියට වටිනා පුරාවස්තු අහිමි වීමේ දැඩි තර්ජනයක් තියෙනවා.

අද පුරාවස්තු කියන්නේ විශාල ජාවාරමක් බැවින් වහාම මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සොයා බලා මෙය නතර කළ යුතුයි.

බටලීයේ පිහිටි එම සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමිත හිමියෝ මේ බව හෙලි කළහ.‍