(රංජිත් කරුණවිර)

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කැප වෙනවා.  වසර ගණනාවක සිට වැදි ජනතාවගේ ඉල්ලීමක් වූ ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළා ආදිවාසීන් ඇතුළු අදාල ආයතන සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කරනවා යැයි  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

“ආදිවාසී පාරම්පරික වින්නඹුමාතාවන්ට ගරු කිරීම ජීවිතය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම” යන්න තේමා කර ගනිමින් දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේ අද  පැවැති "ලෝක ආදිවාසී දිනය 2026" සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

ලෝක ආදීවාසී දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය  දඹාන ආදිවාසී වැදි ගම්මානයේ ඖෂධීය පැළයක් සිටුවීම සිදු කළ අතර අනතුරුව ආදිවාසී ජන උරුම කෞතුකාගාරය නැරඹීමට ද එක් වූවාය. පාරම්පරික වින්නඹු මාතාවන් අගයමින් සංකේත සහ ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව ආදීවාසී වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් ශ්‍රී ලංකා ආදිවාසී ප්‍රජා ප්‍රකාශනය අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්වීමද සිදු කළේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවැසුවාය,

ආදිවාසී ​වැදි ජනතාව කියන්නේ පරිසරය සමඟ සමගාමීව ජීවත්වෙමින් පරිසරයම තම නිවහන කරගත් ප්‍රජාවක්. ගැබිනි සතුන් නොමැරීම, මී මැසි වද කඩද්දී මුළු වදයම විනාශ නොකිරීම, අල ගලවන විට නැවත පැළවෙන කොටස පසට එකතු කිරීම වැනි සරල නමුත් ගැඹුරු පරිසර හිතකාමී සිරිත් විරිත් ඔවුන්ගේ ජීවන රටාව තුළම මුසු වී තිබෙනවා.

​මම අසා තියනවා, හිටපු ආදිවාසී වැදි නායක තිසාහාමි ඇත්තන්ට වරක් රාජ්‍ය නායකයකු විසින් නිල මැදුරක් සහ ඉඩකඩම් ලබා දීමට කළ ආරාධනය, වැදි ජන සංස්කෘතියේ ආරක්ෂාව සහ වැදි පරම්පරාවේ අනාගත පැවැත්ම වෙනුවෙන් එතුමා ප්‍රතික්ෂේප කර තිබෙනවා. පෞද්ගලික වරප්‍රසාද පසුපස යන සමාජයක එතුමා කළ ඒ කැපකිරීම අප සැමටම මහඟු ආදර්ශයක්. අපගේ අනාගත පරම්පරාවට පරිසරයට ආදරය කරන යහපත් සමාජයක් නිර්මාණය කර දීමට නම්, අපි වැදි ජනතාවගේ සරල ජීවන රටාවෙන් සහ පරිසර හිතකාමී සංකල්පවලින් ආදර්ශ ලබාගත යුතුයි.

අපේ රටේ ක්‍රියාත්මක කළ සමහර ​සංවර්ධන යෝජනාක්‍රම සහ ජාතික වනෝද්‍යාන ප්‍රකාශයට පත්කිරීම වැනි කරුණු හමුවේ ආදිවාසී වැදි ජනතාවට තමන්ගේ පාරම්පරික වනාන්තර භූමීන් මෙන්ම නිදහස් ජීවන රටාවත් අහිමි වී යාමේ තර්ජනයට ලක්වී තිබෙන බව අපි දන්නවා.

ආදීවාසී වැදි ජනතාවගේ අනන්‍යතාව, පාරම්පරික දේශීය දැනුම සහ උරුමයන් අද වඳවී යාමේ අවදානමකට ලක්ව තිබෙනවා. අපි රජයක් මෙන්ම සමාජයක් ලෙසත් මේ ප්‍රශ්නය දෙස බොහොම සංවේදීව සහ වගකීමෙන් බැලිය යුතුයි.

සංවර්ධනය කියන්නේ ආදිවාසී වැදි ජනතාවගේ උරුමය විනාශ කිරීම නෙවෙයි. එක්සත් ජාතීන්ගේ ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයට අනුකූලව, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සියලු දෙනාගේම පරම වගකීමක්.

​රජයක් ලෙස ආදිවාසී වැදි ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, තිරසාර ජීවනෝපාය, අධ්‍යාපනික හා සෞඛ්‍ය පහසුකම් ලබාදීමටත් කැපවෙන අතරම, ඔවුන්ගේ පාරම්පරික භූමි අයිතිය සහ සංස්කෘතික ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.

​වසර ගණනාවක සිට ආදිවාසී වැදි නායකතුමා ඇතුළු වැදි ජනතාව ඔවුන් වෙනුවෙන් පනතක් සම්මත කරගැනීම පිළිබඳව විවිධ රජයන් සමඟ සාකච්ඡා කළත්, එය මෙතෙක් ඉටු වී තිබුණේ නැහැ. නමුත් අපේ රජය, විශේෂයෙන්ම  සුනිල් සෙනෙවි ඇමතිතුමාගේ මැදිහත්වීම මත, අදාළ ආදිවාසී පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. පනතක් සම්මත කරගැනීමට අදාළ සියලු අමාත්‍යාංශ, ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු වෙනවා.