(බී.ජී. චතුරංග )

හලාවත පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු පැදවූ කාර් රථයක, යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් කල තරුණයන් දෙදෙනකු, තරමක බර පතල  තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව අනුරාධපුර පොලිසිය පවසයි. ‍

මෙලෙස තුවාල ලබා ඇත්තේ, අනුරාධපුර විජේපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ ගල් කුලම පහළ කීරික්කුලම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි. 

ෙඅනුරාධපුර දහයියාගම හන්දියේ සිට, ඇණ කම්හල දෙසට ඩී.එස්.සේනානායක මාවතේ ගමන් කරමින්  තිබූ යතුරු පැදියක පිටුපසින් එම දිසාවටම ගමන් කල කාර් රථයක් ගැටී දහයියාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.

එම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරා අත්අඩංගුවට ගෙන සිදු කල විමර්ශනවලදී, එම මෝටර් රථ රියදුරා හලාවත පොලිස් ස්ථානයට අනුයුක්තව කොස්තාපල්වරයෙකු  (පොලිස් රියදුරු) ලෙස රාජකාරී කරන පුද්ගලයෙකු බව අනාවරණය වූ බවද පොලිසිය කියයි.