(නිමන්ති රණසිංහ)

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.

හිටපු ඇමැතිවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමියා තිරුකුමාර් නඩේෂන් මහතාගෙන් අල්ලස් කොමිසම පසුගියදා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් අතර, එහිදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් විමසීම සදහා මෙම පිරිස ක’ඳවන බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

අල්ලස් කොමිසම මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිරුකුමාර් නඩේෂන් මහතාගෙන් දෙදිනකදී පැය අටකට අධික වේලාවක් ප්‍රකාශ සටහන් කරගත් අතර, එහිදී අදාළ පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් වන ලිඛිත ලියැවිලි ඔහු අල්ලස් කොමිසමට ලබාදී තිබූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අවශ්‍ය වුවහොත් නැවත වරක් තිරුකුමාර් නඩේෂන් මහතා අල්ලස් කොමිසම වෙත යළි කැඳවීමට ද බලාපොරොත්තු වන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
 
තිරුකුමාර් නඩේෂන් මහතා පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 08 වැනිදා සහ 15 වැනිදා යන දෙදින අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබාදුන්නේය.

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර මසක් තුළ වාරතාවක් ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් (06) අල්ලස් කොමිසමට දැනුම් දුන් දුන්නේය.

පැන්ඩෝරා පත්‍රිකා සිද්ධිය සම්බන්ධයෙන් තමාගේත්  බිරිඳගේත් නම සදහන් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂකවරයකු පත්කරන ලෙසත් තිරුකුමාර් නඩේෂන් මහතා ද ඉකුත් 06 වැනිදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබිණී.

හිටපු රාජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා විදේශීය සමාගම් භාවිත කරමින් ලොව පුරා සිය ධනය සැගවූ බව පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළි කර තිබිණී. මෙම ධනය අතරට සුඛෝපභෝගී නිවාස, වටිනා කලා කෘතීන් සහ මිල මුදල් ද ඇතුළත්ව ඇතැයි එහි සදහන් විය.