(නිමල් ජයරත්න)

පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා  වැලිකන්ද  මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලයේ මව්පියෝ පිරිසක් අද දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

විද්‍යාලයේ තුන්වෙනි ශ්‍රේණි‍යේ ඉගැන්වීමට සිටි ගුරුවරිය මීට වසර දෙකහමාරකට පෙර පැමිණ වසර පහක් සම්පූර්ණ වීමටත් පෙර 29 වෙනිදා විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයට whatsapp පණිවිඩයක් යොමුකර හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට මාරුවීම් ලබා ගොස් ඇති බවද විරෝධතාවේ නිරතව දෙමාපියෝ සඳහන් කළහ.

වැලිකන්ද මහසෙන්පුර සිරි මහසෙන් විහාරාධිපති ොඅලුත්වැවේ සේනාලංකාර නාහිමියන්ද පෙරටු කොට ගනිමින් මාපියෝ මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

හිතවත් කම් මත මෙම ගුරුවරිය තම දරුවන්  අසරණ කර මාරුවීම් ලබා හිටිහැටියේ කිසිවකුටත් නොකියා යෑම පුදුමයට කරුණක් බවද මවුපියන් සඳහන් කරති.

මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලයේ එක වසරේ සිට පහවසර දක්වා දරුවන් 139 දෙනකු අධ්‍යාපනය ලබන අතර ඒ සඳහා ගුරුවරුන් හතරක් සේවය කරති.

විරෝධතාවය අතරතුර අලුත්වැවේ සේනාලංකාර නාහිමියන්, මව්පියන් කීපදෙනකු සමග දිඹුලාගල කලාප කාර්යාලයට ගොස් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එහි නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ අදාළ ගුරුවරිය යෑම පිළිබඳව කිසිදු දැනුවත් වීමක් නොමැති බවයි.

ගුරු හිඟයට විසඳුමක් ලෙස ඉදිරියේදී ගුරුවරියක ලබාදෙන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දුවක් සමග විරෝධතාවය අවසන් වූහ.