(අංජුල මහික වීරරත්න)

ජනතාවගේ ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනතාවගේ වත්මන් අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාවට ප්‍රමාණවත් පානීය ජල සැපයුමක් සහතික කිරීමට නොහැකි වීමෙන් ගැටලු රැසක් මතු වන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික පානීය ජල, ප්‍රජා ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, අයවැය ප්‍රතිපාදනවල ප්‍රගතිය සහ අවශ්‍යතා මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට අදාළ නිලධාරීන් සමඟ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

අදාළ ව්‍යාපෘති කඩිනමින් හඳුනා ගනිමින් ඒවා ආරම්භ කළ හැකි දිනය, අවශ්‍ය ප්‍රතිපාදන සහ අවසන් කෙරෙන දිනය පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා එහිදී කිසිසේත් මුදල් ගැටලුවක් කර නොගන්නා ලෙසත් ව්‍යාපෘති සැලසුම් කර අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

එමෙන්ම, මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි විදේශ ණය පිළිබඳ බලා නොසිට හැකිතරම් දේශීය අරමුදල්වලින් ව්‍යාපෘති නිම කිරීමට අවධානය යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘති සැලසුම් කිරිම සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩල බඳවා ගැනීමටද උපදෙස් දුන්නේය. 

එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදීම අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එසේ නොමැති වූ විට ව්‍යාපෘති සඳහා අමතර වියදමක් දැරීමට සිදු වීම,  වැය කරන මුදලෙහි ප්‍රතිලාභ අහිමි වීම සහ එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිරි වසරේද ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවීම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බවද පෙන්වා දුන්නේය. 

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, මහනුවර, ගම්පොළ, අනුරාධපුර, වවුනියාව, යාපනය, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීමට ක්‍රියාත්මක සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති, එහි ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී වෙන් වෙන්ව විමසා බැලීය.