(අංජුල මහික වීරරත්න)

රජයේ රෝහල් පද්ධතියේ   ස්ථාපිත කැත්ලැබ් රසායනාගාර ඒකක ප්‍රමාණය මෙම වර්ෂය අවසන්වීමට පෙර 26 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

මේවන විට රෝහල් පද්ධතියේ  කැත්ලැබ් ඒකක 10ක් ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කර ඇතැයි ද ඉදිරියේ දී තවත් කැත්ලැබ් ඒකක 16ක් සෞඛ්‍ය පද්ධතියට එකතුකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ රුපියල් මිලියන 555ක අධික ආයෝජනයක් යටතේ කළුබෝවිල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද හෘද කැතීටරීකරණ රසායනාගාර ඒකකය (Cardiac Catheterization Laboratory - Cath Lab), ඩිජිටල්  ඇන්ජියෝග්‍රැෆි ඒකකය (Digital Subtraction Angiography - DSA Unit) සහ ලිතොට්‍රිප්සි ඒකකය (Lithotripsy Unit) ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේ මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින කැත් ලැබ් ප්‍රමාණය  10 සිට 16 දක්වා වැඩිකිරීම සඳහා රුපියල් මිලියන 3103 වැයකරන බවයි.

 මහ භාණ්ඩාරයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් මෙන්ම ජයිකා  සහන ණය ව්‍යාපෘතියේ මුදල් මේ සඳහා යොදවන බව ද ඔහු පැවසීය.