
(ඩයනා උදයංගනී සහ මනෝප්‍රිය ගුණසේකර)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න රටට හෙළි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජනාධිපතිවරයාට එවැනි සමාවක් ප්‍රදානය කිරීමට ව්‍යවස්ථාවෙන් බලය ලැබුණ ද එහිදී මරණ දඬුවම නියම කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාවක් කැඳවා එය නීතිපතිවරයාට ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමත්, ඉන්පසු එම උපදෙස් අධිකරණ අමාත්‍යවරයා විසින් කියවා බලා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමත් කළ යුතු බව නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
සමාවදීමේ බලය ජනාධිපතිවරයාට ඇතත් එය ක්‍රියාත්මක කළ යුත්තේ යුක්ති සහගතව බවත්, තමන්ට අවශ්‍ය පුද්ගලයා තෝරා හෝ අත්තනෝමතිකව එය ක්‍රියාත්මක නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වේ.
දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමේදී ඉහත වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව ද එහි සඳහන් වේ.
නීතිවිරෝධී ලෙස ඒකරාශීවීම හා මිනීමැරීම යන චෝදනා යටතේ වරදකරුවකු බවට දුමින්ද සිල්වා මහතාට එරහිව මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවකින් ද ඒකමතිකව තහවුරු වූ බව එම නිවේදනයේ දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය යටතේ එවැනි සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබුණ ද එය කරන ලද්දේ අදාළ වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගෙන ද යන්න ගැන ලිඛිතව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මගින් ජනාධිපතිවරාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව 34(1) වගන්තිය අනුව දුමින්ද සිල්වාට කුමන පදනමක් යටතේ සමාව පිරිනැමුවේද?, මේ සඳහා සැලකිල්ලට ගනු ලැබූ කරුණු මොනවාද?, දැනට දඬුවම නියම වූ අනෙක් සිරකරුවන්ගෙන් දුමින්ද සිල්වා වෙනස් වන්නේ කෙසේද?, විනිසුරු වාර්තාව කැඳවා ඇත්නම් එහි අන්තර්ගතය, නීතීපති උපදෙස් ලබා ඇත්නම් එහි අන්තර්ගතය, අධිකරණ අමාත්‍ය නිර්දේශ ලබාගෙන ඇත්නම් එහි අඩංගු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ජනතාව දැනුවත් කළ යුතු බවද නීතීඥ සංගමය සඳහන් කරයි.
එලෙස සාධාරණීකරණය කරනොගෙන මීට පෙර සමාව පිරිනැමූ අවස්ථාවලදී ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ ආකාරයෙන්ම ක්‍රියාකාරී වී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් නැතිව මේ මහත්වරු ඇහැරිලා. මීට කලින් සිදුවුණු කිසිම දෙයකට කතා නොකළ අය. පුදුම වෙන්න කාරණා නෑ. හිතාගන්න පුලුවන්...
ඔය සංගමය කොහේද හිටියේ ... පද්මිණී රණවක හා රන්ජාගේ හඬපට වල දුමින්ද ගැන තීන්දු ගත් ආකාරය මාධ්‍යවල ප්‍රචාරය වෙනකොට.. ඇයි එතකොට ප්‍රශ්න නොකලේ? මරණ දඬුවම දුන් ආකාරය ගැන සාලිය පිරිස් කොහොමත් සජබ නියෝජනය කරන කෙනෙක් නිසා මුනිවත රැක්කා. දැන් තමයි සාලිය පොරක් වෙන්න හඩනගන්න අරන් තියෙන්නේ.. ඉදිරියේ රන්ජා එළියට එනකොට සාලියගේ සංගමය කොහොමද ජනාධිපතිගෙන් ඒ ගැන අද වගේ ප්‍රශ්න කරන්නේ කියලා අපි අවධානයෙන් ඉන්නවා සාලිය ...
මේ නඩු දවසක සවභාවධර්මය විසින්ම විසඳාවි....
පහුගිය කාලේ ඔයාලා නිදාගෙන ඉඳලා දැන්ද ඇහැරුනේ? රෝයල් පාර්ක් මිනිමරුවට ජනාධිපති සිරිසේන සමාව දුන්නු වෙලේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම කරුණුම අවධාරණය කළා පමණක් නොවෙයි, ඉන් එහාට ගිහිල්ලා නඩුවකුත් ගොනු කළා. තවමත් ඒ නඩුව විභාග වෙනවා. ඒ හින්දා ඔයාලගෙන් තමයි පහුගිය කාලේ කොහෙද හිටියේ කියලා අහන්න ඕනේ...
නීතීඥ සංගමය ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි,.. ජනතාව වෙනුවෙන් ප්‍රශ්නකළ යුතුයි...
දැන් තේරෙනවද? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා...
නීතිඥ සංගමයට ඇඟිල්ල දිගු නොකර කළ දේ හරිද? වැරදිද? කියන එක පුරවැසියෙක් විදියට සිතන්න...
ඔය නීතිය තමයි එදත් තිබුණේ
කිසිවෙකුට ගැටළුවක් නොවේද ?