(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා වන රුපියල් ලක්ෂ පහක  වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සුවිශේෂී ගැටලුවකදී හැර සෙසු සියලු අවස්ථා වල එම ප්‍රතිලාභීන්ට නියමිත පරිදි වන්දි ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22)  පැවති දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබා දීමේ කටයුතු  සම්බන්ධයෙන් වූ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදීය.

පූර්ණ හානි වූ නිවාස වල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීමේ හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතිය  පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය. මෙම වන්දි මුදල් ගෙවීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.  

තවමත් කඳවුරුපවල ජීවත්වන ජනතාවට නව නිවසක් ලබා දෙන තුරු තාවකාලික නිවාසවල පදිංචි කරවීම පිළිබඳවද මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග  ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.  

අධිඅවදානම් කලාපවල ජීවත් වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ  අතර, නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ  සැලසුම් පිළිබඳවද අවධානය යොමු විය.