අපේ වකුගඩු යම් හෙයකින් අකර්මණ්‍ය වුව හොත් ශරීරයේ සමතුලිතතාවට බරපතළ ප්‍රශ්නයක් එල්ල වේ. එමෙන්ම රෝගියාටද විවිධ අපහසුතා ඇතිවේ. එවන් විටෙකදී වකුගඩු මගින් කෙරෙන කාර්යය යන්ත්‍රයක් ආධාරයෙන් යම් දුරකට හෝ ඉටු කිරීමට වෛද්‍යවරුන්ට හැකි වේ. එය රුධිර කාන්දුකරණය (Hemo dialysis ) නමින් හැඳින්වේ. මෙම යන්ත්‍රයෙන් අපගේ වකුගඩු ක්‍රියාකාරීත්වයට සමානව රුධිරය පෙරීමක් සිදු වේ. කුඩා කේශනාලිකා විශාල ප්‍රමාණයක් එකතු වීමෙන් සාදා ඇති 'ඩයලයිසර්' මෙහි ඇති වැදගත් මෙන්ම ක්‍රියාකාරී ඒකකයයි.

ක්‍රියාකාරීත්වය

රෝගියා තුළ සංසරණය වන රුධිරය නළ මාර්ගයෙන් යන්ත්‍රය ඇතුළට ඇද ගනී. මෙසේ රෝගියාගෙන් රුධිරය පිටතට ලබා ගැනීමට ඇතැම් අවස්ථාවලදී තාවකාලිකව විශාල ශිරාවකට යොදා ගන්නා බටයක් භාවිත කරයි. විශාල ශිරාවන් වශයෙන් බෙල්ලේ හෝ කලවා  පෙදෙසේ ඇති ශිරාවන් යොදා ගැනේ. මෙවැනි නළ කාලයක් පවත්වා ගැනීමට අවශ්‍ය වූ විටෙක පපුවට සම්බන්ධ කරයි.

බොහෝ විට දිගුකාලීන රුධිර කාන්දු පෙරණය සිදු කිරීමට ධමනියක් සහ ශිරාවක් බද්ධ කිරීමෙන් ඇති කරන විප්ටියුලාවක් අවශ්‍ය වේ. බොහෝ අවස්ථාවලදී මෙය සිදු කර ගනු ලබන්නේ රෝගියාගේ මැණික් කටුව හෝ අතේ වැලමිට ආශ්‍රිත කොටසේය.  ඒ ආශ්‍රිතව ඇති සම හිරිවැට්ට වීමෙන් අනතුරුව සිදු කරන කුඩා සැත්කමක් මගින් විස්ටියුලාව සාදා ගනී.

ඉහත යම් ක්‍රමයක් මගින් රෝගියා සහ යන්ත්‍රය සම්බන්ධ වූ පසු යන්ත්‍රය මගින් රුධිරයේ ඇති අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීම අරඹයි. මෙම යන්ත්‍රය හරහා ශරීරයේ පවතින අතිරික්ත ජලයද ඉවත් කර ගැනීමට පුළුවන.

ශරීරයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් සතියකට පැය 12ක් පමණ මෙම ප්‍රතිකාරය සිදු කළ යුතුය. ඒ අනුව වරකට පැය 04 බැගින් සතියකට 03 පාරක් ප්‍රතිකාරය ලබා දේ.

රුධිර කාන්දුකරණය සිදු කිරීමෙන් බොහෝ අපහසුකම්වලින් තොරවූ සහනයක් රෝගියාට ලැබුණද වකුගඩු මගින් නිරතුරුව සිදු කරන සමස්ත කාර්යභාරයම යන්ත්‍රය මගින් ඉටු නොවේ.

විශේෂයෙන් හෝමෝන ක්‍රියාකාරීත්වය සහ අස්ථි පද්ධතිය සමතුලිතව පවත්වා ගැනීමට වකුගඩු මගින් ලැබෙන සහයෝගය යන්ත්‍රය මගින් නොලැබේ. මේ නිසා දීර්ඝ කාලීනව රුධිර කාන්දුකරණය සිදු කර ගන්නා රෝගීන්ට බලපාන අවදානම් තත්ත්ව ඇත. මොවුන් හෘදයාබාධ, අංශභාග වැනි තත්ත්ව ආදියට ගොදුරු වීමට ඇති අවකාසය වැඩිය. එසේම තාවකාලිකව නළ මගින් ප්‍රතිකාරය ලබා ගැනීමේදී ශරීරයට විසබීජ ඇතුළු වීමට පුළුවනි. එබැවින් වකුගඩු රෝගීන්ට දැනට ඇති ප්‍රතිකාර ක්‍රම අතුරින් වකුගඩු බද්ධ කිරීම  හොඳම විසඳුම ලෙස පිළි ගැනේ.

-සටහන- මාධවී ධර්මරත්න