
(සුජිත් හේවාජුලිගේ )
ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 103ක් සහ පතොරම් 28,789 ක් ඒ සමාගම් අතර ගිවිසුම අවසන්වීමෙන් පසු නැවතත් සමාගම බාරයට ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
නෞකා සමාගම්වලට 2011 වර්ෂයේ වර්ෂයේදී නිකුත් කර මෙතෙක් බාරදී නොමැති ගිනි අවි අතුරින් 13 ක් අස්ථානගතවී ඇති බවත් අස්ථානගතවූ එම ගිනි අවි 13ට ස්වයංක්‍රීය ගිනි අවි හතරක් සහ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තුනක් ඇතුළත් වන බවත් එම වාර්තාවේ දැක්වේ.
රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම අතර පැවති ව්‍යාපාරික ගිවිසුම 2019 වසරේ ජනවාරි 24 වැනි දිනෙන් අවසන්වී ඇති හෙයින් එම අවි ආයුධ නැවත බාරදිය යුතුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර රංගල සහ ගාල්ල පාවෙන අවි ගබඩාවලින් ලැබිය යුතු රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වර්ෂ හතකට අධික කාලයක් තිස්සේ අය කරගෙන නැතැයි විගණන වාර්තාවේ දැක්වේ.
රක්නා ලංකා ආරක්ෂක සමාගම දේශීය හා සමුද්‍රීය ආරක්ෂක සේවා සැපයීමෙන් ලබාගන්නා ආදායම විධිමත් කළමනාකරණයට හා පාලනයට සුදුසු අභ්‍යන්තර පාලන ක්‍රමවේද ස්ථාපිත කිරීම කෙරෙහි කළමනාකාරිත්වයේ අවධානය යොමුවී නොතිබූ බව විගණන අංශවලට තොරතුරු අනාවරණයවී ඇත.
මේ අතර සමාගම සඳහා සේවකයන් බඳවා ගැනීම හා උසස් කිරීම සඳහා පටිපාටියක් සකස් කර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය මේ දක්වාම ලබාගෙන නොතිබූ බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ තොරතුරු සඳහන් වන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගම පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්ෂික වාර්තාවේය.
COMMENTS
එකින් එක ගෑවිලා මැකෙන්න ඇති
ඕවායේ ගාන ගෝඨාභය අරගෙන ඉවරයි.