IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ගර්දේනියා මල් සුවඳේ හිත පෙඟුණා...

සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්‍රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත්‍යය පෝෂණය කළ නවකතා ආශ්‍රිතව,එම නවකතාවල විවිධ චරිත ආශ්‍රිතව ගීත නිර්මාණය වීම  දක්නට ලැබෙන අතර එය නවමු ගීතයට එක්වූ අලුත් සංකල්පයක් ලෙසත් හැඳින්විය හැකියි.

බොහෝ වෙලාවට නවකතාවක් අශ්‍රිතව ගීතයක් ලිවීමේදි එම ගීතය හුදු ශ්‍රාවකයා වැළඳ ගන්නේ එම අදාළ නවකතාව පාඨක සමාජය ඔස්සේ විශිෂ්ට ස්ථානයක් හිමිකරගෙන තිබීමෙන් පමණයි.ඒ වගේම තමයි නවකතාව නොකියවූ ශ්‍රාවකයාටත් ගීතය රසවිඳිය හැකි පරිදි රචනා කිරීමත් ගී පද රචකයා සතු විශේෂ කාර්යයක්.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ " මළගිය ඇත්තො" "මළවුන්ගේ අවුරුදු දා " වැනි විශිෂ්ට නවකතාවල චරිත , සිදුවීම්,සාරාංශය  ලාංකේය පාඨකයාට කිසිසේත්ම බැහැර නොවන්නේ දශක ගණනාවක් තිස්සේ එම නවකතා පාඨකයා ඇඳබැඳ තබාගත් බැවින්.ඒ නිර්මාණ ආශ්‍රිතව අාචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කළ ,

"මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි.."
(ගායනය - සුනිල් එදිරිසිංහ )

"සුවඳ තියා මා ළඟ ඔබ
අරන් යන්ක මල්.."
( ගායනය - චන්දන ලියනාරච්චි )

වැනි ගීත ශ්‍රාවකයා වැළඳ ගත්තේ නවකතාව කියවා හෝ ඒ තුළට අාසක්ත වීමෙන් ම පමණක් නොවෙයි.ගීතයේ යටි පෙළ නවකතාවෙි සියුම් තැන් ගෙනහැර පෑවත් නවකතාව නොකීයවූ ශ්‍රාවකයාටත් එය රස විඳීමට කිසිදු බාධාවක් නොමැතිවන ලෙස රචනා කිරීම එම
රචකයා සතු සුවිශේෂීත්වය නිසා.

කරුණාසේන ජයලත් ශූරීන්ගේ ගොලු හදවත නවකතාවේ එන දම්මි සුගත් ප්‍රේම වෘත්තාන්තය පාදක කරගනිමින් ගීත කිහිපයක්ම සුභාවිත ගී කෙතට එක්වීම ද විශේෂයක්.

"නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා..."
(කරුණාසේන ජයලත්/සිසිර සේනාරත්න / ඉන්ද්‍රණි සේනාරත්න )

දම්මි සුගත් තනිකළාට
හිතට දුකක් එක්කළාට
( ආනන්ද පද්මසිරි / ඈන් කෞෂල්‍යා)

හෙලයේ මහා ගත්කතුවරයාවන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාවේ නන්දා චරිතය පදනම්කර ගනිමින් මෑත කාලිනව ගීත කිහිපයක් ම සංගීත ක්ශේත්‍රය ට එකතුවීමද විශේෂත්වයක්.ඒ වගේම  බොහෝ ගී පද රචකයන්ගේ ගීතවල සංකේතාත්මකව ලෝ ප්‍රකට " ගුරු ගීතය" නවකතාව භාවිතා කර තිබීමත් පෙන්වාදිය හැකියි.

නවකතාවක් ආශ්‍රිතව ගීතයක් නිර්මාණය කිරීමේදි.ඒ නවකතාව කොතෙක් දුරට පාඨක සමාජය වැළඳගෙන තිබේද යන්න වැදගත්.
අපේ සාහිත්‍ය සමාජය තුළ නිරන්තරව කතාබහට ලක්වුණ විදේශීය ලේඛකයකුවන ගාර්ෂියා මාකේස් විසින් රචිත Love in the Time of Cholera හෙවත් කොලරා කාලේ ආලේ නවකතාව  අපේ පාඨකයා අතරත් ඉමහත් අවධානයක් දිනාගත් නවකතාවක් .ඒකට හේතුව වන්නෙත් ගාර්ෂියා මාකේස් ලාංකීය සාහිත්‍ය සමාජය තුළ ඉතාම ජනප්‍රිය විදේශීය ලේඛකයකු වූ නිසයි.

ඔහුගේ කැපී පෙනෙන නවකතාව තමයි කොලරා කාලෙ ආලෙ. එහි එන ෆ්ලොරෙන්තිනෝ අරිසා නමැති චරිතය ගොඩනඟන ආකාරය  පිළිබඳව පාඨකයා කම්පනයට පත් කරන සුළුයි. අවුරුදු පනස් ගණනක් තිස්සේ ඔහු එකම ස්ත්‍රියක් පතාගෙන ආවත් අන්තිමට ශරීරය ගඳ ගහන මහළු වයසෙදි තමයි ඔහුට ඇය හිමි වන්නෙ.

ෆ්ලොරෙන්තිනෝ අරීසා
රෑ තිස්සේ පාළු වීදියේ
වයලීනයේ ඉකිබිඳුම ඇහුණා
සප්ත ස්වර කඳුළින් තෙමිලා
උණුසුම් හැඟුමක් වැයුවා
සීත හීතුඩු අනිනා පැයේ
ඒ ආදරේ මට දැනුණා ....
ෆ්ලොරෙන්තිනෝ අරීසා ...

ග්‍රීෂ්ම සෘතුවේ 
ඉවැංජල් උද්‍යානයේ 
කහ පාට කොළ වරුසාවේ
ඔබ මට එවූ
ගර්දේනියා මල් සුවඳේ
හිත පෙඟුණා.....

මහලු නොවෙනා
මැග්දලේනා ගඟ දිගේ
අනුරාගයේ රළ නැඟුණා
ඔබ මා සෙවූ
අඩසියවසක යෞවනේ
තුරුලු වුණා.....

හඬ - ඉන්දිකා උපමාලි 
ස්වර - අමිත් ලියනගේ 

මේ ගීතය රචනා කරන්නේ අලුත් පරපුරේ ප්‍රතිභාසම්පන්න ගී පද රචකයකු වන ප්‍රදීප් කුමාර දිසානායක.නවමු නිර්මාණකරුවකුගෙන් එතරම් බලාපොරොත්තු නොවිය හැකි මනා හැදෑරීමකින් රචනා කරන ලද මේ පද පෙළ සුභාවිත ගීතයේ නැවුම් ලකුණක් ලෙස දැකිය හැකි අතර මතු බලාපොරොත්තු තබාගතහැකි රචකයකු බව ඔහු මේ ගීතය තුළින්ම සනාථ කිරීම අගය කළ යුතුයි.

" ගබ්රි⁣⁣යෙල් ගාර්ෂියා මාකේස්ගේ "කොලරා කාලේ ආලේ" (පරිවර්තනය- ගාමිණී වියන්ගොඩ) ⁣නවකතාව කියවද් දී ෆ්ලොරෙන්තිනෝ අරීසගෙයි ෆර්මිනා දාසාගෙයි ආදරය දිහා මම ඔවුන් සමීපයේ ඉඳගෙන බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් දැනුණා. මේ නවකතාවට මායා යථාර්ථවාදයත් උතුරු කොලොම්බියානු පරිසරයත් කේන්ද්‍ර වී තියෙනවා. කෙසේ වුවත් ආදරය කියන සංකීර්ණ මනෝභාවය තුළ ලෝකයේ කාටත් පොදු යථාර්ථයක් තියෙනවා. ඒ නිසා අප කාටත් මේ නවකතාවේ තියෙන ආදරය දැනෙනවා. මේ ආදරය ගැන ගීතයක් ලියවෙන්නේ නවකතාවට තියෙන ආසාවත් මේ නවකතාවෙන් මතකයට නැගෙන ගීත ලියැවිලා නැතිවීමත් බලපෑවා.

මේ ගැන ගීතයක් ලියන්න හිතන්නටත් පෙර සිට ම විවිධ හැලහැප්පීම්වලට ලක්වන මොවුන්ගේ ආදරය තදබල ලෙස මගේ හිතට කාවැදිලා තිබුණා.  ෆ්ලොරෙන්තිනෝ අරීසා රාත්‍රියේ ඇයගේ නිවස සමීපයේ පාළු මාවතට ඇවිත් වයලීනය වයමින් විරහ දුක ප්‍රකාශ කරනවා. ෆර්මිනා දුකින් මේ වාදනය අහගෙන ඉන්නවා. ඒත් එයාලා නැවත සම්මුඛ වෙන්නේ අඩසියවසකට පසුවයි. මොවුන්ගේ යටගියාව මැග්දලේනා ගඟේ දී මෙසේ කතාබහ වෙන්නට ඇතැ යි පරිකල්පනය කරමින් තමයි ගීතය ලියන්නේ ෆර්මිනාගේ භාෂණයක් විදිහට.

ඒ වගේම මේ නවකතාව ගීත අහන විඳින රසිකයාට ආගන්තුකයි.  ඒ නිසා එම රසිකයන්ට අපූර්ව වින්දනයක් ළඟා කරන්නට මේ ඇසුරෙන් ගීතයක් ලිවීමෙන් පුළුවන් වේ වි කියලා මට හිතුණා. ඒ නිසයි මේ ගීතය ලියැවෙන්නෙ"

කොලරා කාලේ ආලේ  මනෝ විශ්ලේෂණයේ එන ආශාව (desire) කියන සංකල්පය ඉතාම ගැඹුරින් විශ්ලේෂණය කරන නවකතාවක් .ඒ සියල්ල ගැඹුරින් අවබෝධකරගෙන ශ්‍රාවකයාගේ අවධානය දිනාගතහැකි ගීතයක් රචනා කිරීම නවක නිර්මාණකරුවකුට අභ්‍යාසයක්.ඒ හැදෑරීම් තුළින් ලැබෙන ප්‍රතිඵලය සාර්ථකනම් එය නිර්මාණ දිවියට මනා උත්තේජනයක් වේවි.

විවරණය: සුජිත් ප්‍රසංග



අදහස් (3)

ගර්දේනියා මල් සුවඳේ හිත පෙඟුණා...

ප්‍රදීප් කුමාර දිසානායක Monday, 14 August 2023 08:38 PM

අලුත් නිර්මාණ වෙනුවෙන් ඉඩකඩක් වෙන් කරන, සුජිත් අයියාගේ වෙහෙස මහන්සියට මගේ ගෞරවනීය ස්තුතිය! ❤️❤️ මෙය තවත් නිර්මාණ කරන්නට උත්තේජනය සපයන්නක්.

:       0       8

චාන්දනී Saturday, 02 September 2023 01:52 PM

නූතනයේ බිහිවෙන්නාවූ සුවහසක් ගීත අතුරින් ප්‍රේමය නම් මාතෘකාව යටතේ ලියැවුණු අපූරු ගීතයක්. මුලු නවකතාවම මේ ගීතය පුරා දිවෙනවා. කතාවක් ඇසුරින් ගීතයක් ලිවීමට රචකයා තුළ ඇති පරිකල්පන ශක්තියට එහා ගිය ඒ කතාව ඇතුලේ ජීවත් වුණු චරිතයක් විය යුතුයි. ඒ පරිණත බව මා මෙයින් දකිනවා. ගීතයක් විඳින්න අසන්නාට එහි ජීවත් වෙන්න රචකයගේ හදවත පාරා ගත යුතුයි. එවිටයි එම ගීතය විඳින්නාගේ හදවත පසාරු කරගෙන ඇටමිදුලු දක්වා ගොස් විඳින්නට හැකි වන්නේ... ලියූ පද රහට දැනෙන්නට සංගීතය සහ ගායනය පද අතරට කිඳා බැස්ස වියයුතුයි. එය හරි අපූරුවට අමිත් මහතාත් උපමාලී මහත්මියත් මුහුකර තියෙනවා. මං ඔබට සුබ පතනවා ඔබගේ මේ දිගු ගමනට...

:       0       5

Nimal... Friday, 18 August 2023 06:21 PM

ඉවාන් පාවුළුෂා ගැනත් ලියන්න...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 713 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site