(අංජුල මහික වීරරත්න)

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් එක්ස්පො ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් ( පුද්ගලික) සමාගම වෙත නිවාස ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොල්ලුපිටිය, මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි නාගරික සංර්වධන අධිකාරිය සතු පර්චස් 40ක ඉඩම් කොටසක් අවුරුදු 50ක දීර්ඝකාලීන බදු පදනම මත එක්ස්පො ප්‍රොපටි ඩිවෙලොපර්ස් (පුද්ගලික) සමාගම වෙත බැහැර කිරීම සඳහා 2007 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරී පනතේ විධිවිධාන පරිදි අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා වන වටිනාකමින් 25%කට සමාන මුදලක් ද අයකර ගනු ලැබ ඇත.

එහෙත්, එකී ඉඩමේ අනවසර පදිංචිකරුවකු සිටීම හේතුවෙන් ඉඩම් කොටස පැවරීමේ කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබේ.

එම ඉඩමට යාව පිහිටි තවත් පර්චස් 12 ද ඇතුළුව පර්චස් 52ක සම්පුර්ණ ඉඩම් කොටස නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 99ක බදු පදනම මත ලබා දෙන ලෙස එක්ස්පො ප්‍රොපටි ඩිවෙලොපර්ස් (පුද්ගලික) සමාගම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. 

ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වර්තමාන තක්සේරුව මත පදනම්ව අදාල ඉඩම්  කොටස වසර 99ක බදු පදනම මත අදාල සමාගම වෙත පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.