
(යොහාන් භාසුර)
යුද්ධයේදී දිවිපිදූ යුද හමුදා විශේෂ බළකායේ කීර්තිමත් කර්නල්වරයකුගේ බිරිදට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා කාර් රථය සොරකම් කර කෑලිවලට ගැළවූ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම කාන්තාව පදිංචිව සිටින බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රසිද්ධ මහල් නිවාස සංකීර්ණයේ රථගාලේ නවතා තිබියදී එම මෝටර් රථය කිසියම් පිරිසක් පසුගිය නොවැම්බර් මස 10 වැනිදා සොරකම් කර ඇති බව කී පොලිසිය රථ ගාලේ ආරක්ෂක නිලධාරියකු වෙනත් පුද්ගලයකු යොදවා රථය සොරකම් කර ඇති බව ද සඳහන් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක අංක 07 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත ධර්මරත්න මහතා ඇතුළු නිලධාරීන් රථගාලේ මුරකරු සහ රථය රැගෙන ගිය බව කියන මාලිගාවත්තේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් ලද තොරතුරු මත වාහනය කෑලිකර තිබියදී බේරුවල ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු සමඟ සොයාගත් බවත් පොලිසිය කීය.
කෑලිකර තිබූ කාර් රථය චැසි අංකය ආධාරයෙන් සොයාගත් බව කී පොලිසිය පැවසුවේ සැකකරුවන් අද (8) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.