(කේ බුද්ධික කුමාරසිරි)

ජාතික පොලිස් කොමිසමට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් පසු අත් අඩංගුවට ගත් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක්  මත මුදා හරින්නැයි අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද දින නියෝග කළේය.

සැකකරුට විදෙස් ගමන් තහනම් කළ අතර පැමිණිලිකරුවන්ට බලපෑම් කළ හොත් ඇප අහෝසි වන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස ඇප නියම වූයේ ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ප්‍රේමලාල් නැමැත්තෙකුට වේ.

මැණික් ගලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලක් විමර්ශණයේදී නීති විරෝධී අන්දමින් ක්‍රියා කරමින් සාක්ෂිකරුවන්ට හා සැකකරුවන්ට අයත් මුදල් බලහත්කාරයෙන් ලබා ගෙන විමර්ශන කටයුතු සදහා ඉදිරිපත් නොකොට මුදා හැරීමේ චෝදනාව මත රත්නපුර කොට්ඨාස අපරාධ ඒකකයේ නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරු අධිකරණ වෙත ඉදිරිපත් කෙරිණි.