(අංජුල මහික වීරරත්න)

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින්  දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු  භික්ෂූන්වහන්සේගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’  නමින් පැවැත්වීමට නියමිත සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ආචාර්ය  මේල්පිටියේ  විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී  පැවැත්විණි.

මෙම ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ දොළොස් නමක් මේ මස 21වන දා මෙරටට වැඩම කිරීමට නියමිත  අතර, අප්‍රේල් 22වන දා සිට අප්‍රේල් 28 වන දා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස මෙම සාම පාගමනෙහි නිරත වනු ඇත.

අප්‍රේල් 21වන දින ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මෙම සාම පාගමනේ කටයුතු ආරම්භ කෙරෙන අතර අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද මෙම සාම පාගමනේ වැඩම කරවීමට නියමිතය.

එමෙන්ම, ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙත සාමයේ පණිවිඩය ලබා දීම සිදු කෙරේ.

අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන්  අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල්  28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය. 

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.