(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පිටතට විකිනීම සදහා  රැගෙන යාමට සූදානම් කර තිබු තවත් රිවෝල්වරයක් එම කාමරයේ වෙනත් ස්ථානයක ගෝනියක සගවා තිබියදී අද (07) සොයා ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

දැනට රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් පවතින එම අධිකරණයේ සේවය කල බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනාගෙන් හෙලි කර ගත් තොරතුරු නඩු බඩු කාමරයේ ගෝනියක් තුල සගවා තිබියදී එම ගිනි අවිය හමු වී තිබේ.

ඇමරිකාවේ නිෂ්පාදිත මිලි මීටර් 9.9 වර්ගයේ උණ්ඩ යෙදීය හැකි එම ගිනි අවිය 2014 වසරේ දී මාතර තුඩාවේ සිදු කල මනුශ්‍ය ඝාතනයකට යොදා ගත් ගිනි අවියක් බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මාතර පොලීසිය මගින් එම ගිනි අවිය අත් අඩංගුවට ගෙන නඩු බඩුවක් ලෙස අධිකරණයට භාර දී තිබෙන බව පොලීසිය කියයි.සැකකාර බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී මේ වන විට නඩු බඩු කාමරයෙන් සොරා ගත් ගිනි අවි පහක් පොලීසිය සොයා ගෙන ඇත.