(පද්මසිරි ගාර්දියවසම්)

වීරවිල එළිමහන් සිර කඳවුර තුළදී මුවකු ඇනීමෙන් 30 හැවිරිදි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය .

රැඳවියා කඳවුර තුල මුවන් ඇති කරන කූඩුවක් තුළට ගොස් ඇති අතර එම කුඩුවේ මුවන් හත් දෙනෙකු පමණ සිටින බවත් එහිදී එක් මුවකු රැදවියාගේ උදරයේ ඉල ඇට ප්‍රදේශයට ඇන ඇති බවත් ,පසුව ඔහු බන්ධනාගාර නිළධාරින් විසින් තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පැවසීය .

ජීවිතක්ෂයට පත් රැඳවියා මහර , වරපලාන ප්‍රදේශයේ පදිංචි අයෙකි .

රැඳවියා විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම නිසා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පුනරුත්ථාපනය කිරීම සදහා මහර බන්ධනාගාරයට යොමු කර ඇති අතර පසුව වැලිකඩ බන්ධනාගාරය හරහා වීරවිල එළිමහන් සිර කඳවුරට යොමු කර තිබේ .

ජීවිතක්ෂයට පත් රැදවියාගේ මෘතදේහය තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලේ තැන්පත් කර ඇත . හදිසි මරණ පරීක්ෂණය ඊයේ (09) සිදුකරන බව පොලිසිය පැවසීය .