පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිය යුතු කිසිම චූදිතයකුට නිදැල්ලේ යන්නට නොදී පොලිසිය දැඩි වෙහෙසක් දරමින්, මරණයට පත්වූ සහ තුවාල ලැබූ 500කට අධික බැතිමතුන් පිරිසකට යුක්තිය ඉටුවන අයුරින් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් කියා සිටියේය.

රජය බලයට පත් වීමෙන් අනතුරුව මෙම සංහාරයට හවුල් වූ බවට සැක කෙරෙන 165 දෙනකු අත්අඩංගුවට ගෙන 48 දෙනකුට එරෙහිව නඩු පවරා තිබෙනවා යනුවෙන් කී ඔහු තවදුරටත් කියා සිටියේ මෙම මාරාන්තික බෝම්බ ප්‍රහාරයන්ට හවුල් වූ සියලු දෙනා අත්අඩංගුවට ගැනීම උදෙසා විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතින බවයි.

වැරැදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා වූ විමර්ශන කටයුතු පමා වෙන බවට වූ චෝදනාව එකහෙළා ප්‍රතික්ෂේප කරමින් කතා කළ මේජර් ජෙනරාල් අල්විස් කියා සිටියේ පොලිසිය සාක්ෂි මත පදනම් වූ  විමර්ශනයක නිරතවන බවයි.

යම් පුද්ගලයකු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට හවුල් වී ඇතැයි තවත් අයකු කියන පළියට පොලිසියට ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ චූදිතයකු කිරීමට නොහැකි බැවින් පිළිගත් නීතිමය රාමුවක් යටතේ අපට අපගේ විමර්ශන පවත්වා ගැනීමට සිදුවෙනවා’ යනුවෙන් ඔහු අවධාරණය කළේය. ඩේලි එෆ් ටී පුවත්පත සමග අති විශේෂ සම්මුඛ සාකච්ඡාවක නිරත වෙමින් අමාත්‍යාංශ ලේකම්වරයා පොලිසියට අදාළ පුළුල් පරාසයක කරුණු විස්තර කළේය. නොයෙක් අරමුණු සහිත මිනිසුන් පූජකවරුන් සමග එක්වී  මහජනයා නොමග යැවීම සඳහා වෙනත් පින්තූරයක් මවා පාන්නේ යැයිද හෙතෙම කියා සිටියේය.
 
උගත් ගෞරවනීය ආගමික නායකයන්ගෙන් මා ඉතාමත් උනන්දුවෙන් ඉල්ලා සිටින්නේ මෙය දේශපාලන සෙල්ලමක් සේ ගෙන මහජනයා තුළ මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සැකයක් ඇති වන සේ ක්‍රියා නොකරන ලෙසයි’ යනුවෙන් මේජර් ජෙනරාල් අල්විස් පැවසුවේ පූජකවරුන් ඇතුළු ඕනෑම අයකුට පොලිසිය වෙත තව තවත් තොරතුරු සපයා තවත් චූදිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එකතු වන ලෙස ඇරියුම් කරමිනි. එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය:- ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ  පැවැති පොලිස් දෙපාර්තමේන්තුව දැන් වෙනම අමාත්‍යංශයක් බවට පත් වූයේ ඇයි?
පිළිතුර:- මූලික වශයෙන්ම එසේ වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට පොලිසිය සන්නද්ධ හමුදාවක ස්වරූපයෙන් වෙනස් කොට සේවාවක් බවට කරමින් මහජනතාව සමග සමීපව කටයුතු කරනු දකින්නට අවශ්‍ය වූ නිසයි. මහජනතාවට පොලිසියේ  සහභාගිත්වය රට පුරාම ඇති බව දැනෙන අයුරින් සමාජය මූලික කරගත් පොලිස් සේවාවක් ගොඩනගන්නට ඔහුට අවශ්‍ය වුණා. එම සංකල්පයට අනුව පොලිසිය, ජනතාවගේ ජීවිතයේ සෑම අංගයකටම උපකාර කරමින් සමාජය තුළ රැඳී සිටිය යුතු වෙනවා. ජනතාවගේ කරුණු කාරණා සාකච්ඡා කර ගැනීම සඳහා ඔවුන්ගේ සේවාව සමාජයට නිදහසේ ලබාගත හැකිවිය යුතු වෙනවා.

ජනාධිපති රාජපක්ෂගේ දැක්ම යටතේ මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවනු ලැබුවේ ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ 14,022ක ඉන්නා ජනයා සෘජුවම සම්බන්ධීකරණය කරන අවම පොලිස් නිලධාරීන් දෙදෙනකු සහිත ප්‍රජා පොලිස් බල ප්‍රදේශ බලාකියා ගැනීම සඳහායි. ඔවුනොවුන්ගේ ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනතාවට උපදෙස්ම, අවශ්‍ය අවස්ථාවක පොලිස් වාර්තා ලබා ගන්නට උපකාර කිරීම, තම ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට සමීප වීමේ පහසුකම් ලබාදීම සහ ජනතාවගේ එදිනෙදා ගැටලුවලට අවශ්‍ය විටෙක විසඳුම් ලබාදීම යන කාරණා ඉටු කිරීමට නියමිතයි. පොලිසියට අදාළ කාරණයක් වේ නම් මුලින්ම සම්බන්ධ කර ගත යුතු වන්නේ ඔවුන්වයි. අපට අවශ්‍ය වන්නේ ප්‍රජා මූලික සේවාවක් තුළින් ජනතාවගේ හදවතටත් මනසටත් පොලිසිය සමීප කරවීමයි.


ප්‍රශ්නය:- ආරක්ෂා සහගත රටක් සහ ආචාරශීලී විනයගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙනවා. මේ වනවිට එහි ප්‍රගතිය කෙසේ වේද?
පිළිතුර:- ඊට මූලිකත්වය දෙන්නේ ආරක්ෂක ලේකම්වරයායි. මමත් කාර්ය සාධක බළකායේ කොටසක් ඉටු කරනවා. අප ජයග්‍රහණ කිහිපයක් අත්පත් කරගෙන අපරාධ මර්දනය කිරීමේ පුළුල් සම්බන්ධීකරණ අවශ්‍ය ඇතැම් ක්ෂේත්‍රවල වර්ධනයක් ලබා තිබෙනවා.

මෙය රටේ සාමකාමී වාතාවරණයක් ගොඩනැගීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමීපව කටයුතු කළ යුතු ක්ෂේත්‍ර අතුරින් මෙය එක් ක්ෂේත්‍රයක්. උදාහරණයකට අන්තරායකර ඖෂධ ගනිමු. ප්‍රධාන වශයෙන් ඒවා එන්නේ මුහුදින්. මත්ද්‍රව්‍ය රහසේ ගෙන එන්නන් කොටුකර ගන්නට පොලිසිය, නාවික හමුදාව සමග තොරතුරු හුවමාරු කර ගන්නවා. ඉන් අනතුරුව ප්‍රශ්න කිරීම් සහ විමර්ශන පවත්වාගෙන යනු ලබන්නේ  පොලිසියෙන්.

සියලුම බුද්ධි සේවා මත් ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් රට තුළ කරගෙන ගියත් එම විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ පොලිසියෙන් නිසා පොලිසිය එහිදී මූලිකත්වය ගන්නවා. පොලිසිය නිතරම රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට සූදානමින් සිටිනවා.


ප්‍රශ්නය:- අපරාධ මර්දනය සඳහා කඩිනමින් ක්‍රියාකාරී වීම සිදු වුවත් රටේ අපරාධ ඉහළ යන සෙයක් තවමත් පෙනී යනවා. ඒ ඇයි?
පිළිතුර:- අප බැරෑරුම් ලෙස කටයුතු කළයුතු ඇතැම් ක්ෂේත්‍ර පවතිනවා. ඔබ දැනට පවතින සැබෑ තත්ත්වය දෙස බැලුවහොත් පෙනී යාවි. කොවිඩ් වසංගත තත්ත්වය නිසා බොහෝ ජනතාව දැඩි දුෂ්කරතා විඳින බව. අප මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ මුහුද හරහා ඇති සැපයුම් අවහිර කොට තිබෙන නිසා මත්ද්‍රව්‍ය සැපයීම් හිඟවී ඒවායේ මිල අහස උසට නැග ඒවාට ඇබ්බැහි වූවන්ට ඒවා ලබා ගන්නට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

ජීවත්වීම සඳහා සමාජ ගැටලු නිර්මාණය කරමින් මුදල් කොල්ලකෑම දිගටම කරගෙන යන ඇතැම් කොටස් ඉන්නවා. එහෙත් අප සංඛ්‍යා ලේඛන සසඳා බැලුවහොත් අපරාධවලත් කප්පම් ගැනීමේත් ප්‍රවණතාව අඩුවී ඇති බව පෙනීයනවා.

පොලිසියේ විමර්ශන කටයුතු කාර්යක්ෂම වීම හේතුකොට ගෙන මෑත කාලයේ අපරාධ සිදුකළ බොහෝ චූදිතයන් නීතිය ඉදිරියට පමුණුවා තිබෙනවා. ඒ.ටී.එම්. කාඩ් යන්ත්‍ර කොල්ලකෑම් වැනි මහා පරිමාණ සොරකම්වලට අදාළ චූදිතයන් පැය 48ක් ඇතුළත අල්ලාගෙන නීතිමය කටයුතු කිරීමට පොලිසිය සමත්වී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ සාමකාමී රටක් උදෙසා නීතිමය පාලනය පවත්වා ගැනීම අතින් අප වෘත්තීය මට්ටමෙන් ප්‍රගතියක් අත්කර ගනිමින් සිටිනවා.


ප්‍රශ්නය:- බොහෝ මත්ද්‍රව්‍ය මාෆියාවන්ට සහ කොන්ත්‍රාත් මිනීමැරුම්වලට සම්බන්ධ පාතාලය පාලනය කිරීමේ ප්‍රගතිය කෙබඳු වේද?
පිළිතුර:- අප පාතාලයේ සහ මත්ද්‍රව්‍ය මාෆියා ජාල රටාවත් අපේක්ෂිත අයුරින් මර්දනය කර තිබෙනවා. මින් පෙර හෙරොයින් ග්‍රෑම් එකක වීදියේ වටිනාකම රු. 8,000ක්ව තිබුණත් දැන් එය හය ගුණයකින් වැඩිවී තිබෙන්නේ නිරන්තරයෙන් කළ වැටලීම් නිසා ඒවා හිඟවූ නිසයි. රටේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 100,000ක් පමණ සිටින නිසා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට එය දිගටම පවතින අභියෝගයක්. ප්‍රධාන වශයෙන් මුහුදින් එන මත්ද්‍රව්‍ය ඇතුළුව විවිධ අයුරින් රට තුළට මත්ද්‍රව්‍ය රහසේ ගලා එනවා. එම නිසා අපගේ ක්‍රමෝපාය ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ ඒවා රට තුළ සැපයුම හා බෙදාහැරීම මර්දනය කිරීම සහ ඊට ඇබ්බැහි වූවන් පාලනය කිරීම කෙසේ කරන්නේද යන කරුණ වෙතයි.

රට තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම නවතා දමන්නට අප ජාත්‍යන්තර ආයතනත්, බුද්ධිමය සංවිධානත් ශ්‍රී ලංකා නාවික හමුදාව සමගත් සමීපව කටයුතු කරනවා. ඒ අතින් අප මහත් සාර්ථකත්වයක් ලබා තිබෙනවා. අප මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000කට වඩා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපගේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් උදෙසා ඉන්දීය බලධාරින් වඩා හොඳ සහයෝගයකින් කටයුතු කරනවා. රට තුළ තිබූ මත්ද්‍රව්‍ය ජාල රටාව අප කඩා බිඳ දමා තිබෙනවා. මත්ද්‍රව්‍ය හොරොන් ගෙනඑන්නවුන් අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතී ඔවුන්ගේ දේපල රාජසන්තක කර තිබෙනවා.

ප්‍රධාන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එතෙර පදිංචිව සිටියත් අප ඔවුන් පසුපස පරික්ෂාවෙන් සිටිනේය යන හැඟීම අප ඔවුන්ට ඇතිකර තිබෙනවා. මෑතකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට තමන්ගේ දේපල උපයාගත් ආකාරය සනාථ කර ගන්නට නොහැකිවූ නිසා ඔහුට අයත් මිලියන 150ක් වටිනා සුඛෝපභෝගී කර් රථ තුනක්, පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. දැන් අප මිලදී ගත් මූලාශ්‍ර කියා ගන්නට නොහැකිවූ ඔවුන්ගේ දේපල රාජසන්තක කිරීමට කටයුතු කරනවා.

හොර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඒ සඳහා යොදවන්නටත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අල්ලස් දෙන්නටත් ඇති තරම් ධනය තිබෙනවා. අපගේ බුද්ධි අංශ ඔවුන් ගැන ක්‍රියාකාරීව කටයුතු කර මත්ද්‍රව්‍ය මාෆියාවට හවුල් වූ පොලිසියේ ඉන්න උදවියට විරුද්ධව ක්ෂණිකව කටයුතු කර තිබෙනවා.


ප්‍රශ්නය:- හොර මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී සිටින බව කියන ඇතැම් ප්‍රබල පුද්ගලයන් සම්බන්ධයෙන් චෝදනා එල්වී තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලා ගන්නට හොඳින් සංවිධානය කළ ජාල රටාවක් තිබියදී ඔවුන් බේරී යන්නේ කෙසේද?
පිළිතුර:- එවැනි ප්‍රබල පුද්ගලයන්ට එරෙහිව අපට මෙතෙක් කිසිම පැමිණිල්ලක් ලැබී නැහැ. අපට ඔවුන් පිළිබඳ තොරතුරු හෝ පැමිණිල්ලක් ලැබුණහොත් අනිවාර්යයෙන්ම කිසිම වෙනසක් නොකර පොලිසිය ඔවුන්ට එරෙහිව පියවර ගනීවි.

අපට මහජනතාව වෙතින් බොහෝ තොරතුරු ලැබෙනවා. අපගේ විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය මාෆියාවට හවුල්වන එවැනි පුද්ගලයන් පිළිබඳව ඔවුන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.


ප්‍රශ්නය:- කාන්තාවන් සහ දරුවන් නිතරම අපරාධවලට ගොදුරු වෙනවා. ඔවුන්ට ආරක්ෂිත වාතාවරණය ඇති කිරීම සඳහා විශේෂයෙන් එකතු කර ඇති අංග ලක්ෂණ මොනවාද?
පිළිතුර:- පොලිස් ස්ථානවල ළමා හා කාන්තා අංශයේ නිලධාරියකුගේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර තිබෙනවා. ඒ සම්බන්ධ කටයුතු කරන කාන්තා පොලිස් නිලධාරීන්ගේ කාර්යයන් අප පිළිගැනීමට ලක්කර ඔවුනට උසස්වීම් පිරිනමා තිබෙනවා.

ළමයින්ට හා කාන්තාවන්ට සුරක්ෂිත පරිසරයක් ඇති කරමින් ඔවුන්ගේ කටයුතුවලට අදාළ වෙනම අංශයක් සෑම පොලිසියකම ඇති කිරීමයි අපගේ අරමුණ. තමන්ගේ පැමිණිලි කාන්තා පොලිස් නිලධාරීන්ට පමණක් ඉදිරිපත් කිරීමට ඒ මගින් ඔවුන්ට හැකියාව ලැබෙනවා. අප ක්‍රමයෙන් ඒවායේ තත්ත්වය (ප්‍රමිතිය) වර්ධනය කරමින් ඉන්නවා.

මේ වර්ගයේ කාරණාවලදී පොලිසිය ඊට මැදිහත් වන්නේ ගැටලුවේ පශ්චාත් අවධියේ වග මම අවධාරණය කරන්නට කැමතියි. ළමාරක්ෂණ අධිකාරිය, ළමා අයිතිවාසිකම් පිළිබඳ නිලධාරීන් සහ දෙමාපියන් ඇතුළු බොහෝ ආයතන ඊට දායක වෙනවා. අවාසනාවන්ත සිද්ධි වළකා ගෙන ඊට ගොදුරු වීමෙන් ඔවුන් ආරක්ෂා කර ගන්නට ඒ සැවොම සමීපව කටයුතු කළ යුතුයි. පවතින තර්ජන සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කළ යුතුයි. සියලුම ආයතන ඒකරාශි වී වැඩ කරන අරක්ෂණ ක්‍රමයක්ද ඔවුන්ට අවශ්‍යයි.


ප්‍රශ්නය:- පැමිණිලි කරන්නට ගිය විට ළමයින්ට සහ කාන්තාවන්ට ​ පොලිස් ස්ථානවලදී අතවර හිරිහැර සිදුවීම පිළිබඳ ඇතැම් සිද්ධි වාර්තා වුණා. ඒ පිළිබඳ ඔබගේ අදහස?
පිළිතුර:- යම් තාන්තාවක හෝ ළමයකු ආරක්ෂිත අත්අඩංගුවේ ඉන්නා විට කාන්තා පොලිස් නිලධාරිනියක අනිවාර්යයෙන් සිටිය යුතු බව පොලිස්පතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඉතාමත් සුළු සිද්ධි ප්‍රමාණයක් සිදු වූවා. අප දැනටමත් ඒ සම්බන්ධයෙන් බැරෑරුම්ව කටයුතු කර හමාරයි.
අනාගතයේ එවැනි අවාසනාවන්ත සිදුවීම් සිදු නොවන්නට පොලිස්පතිවරයා දුන් නියෝග පරිදි පොලිස් ස්ථානවල කාන්තා පොලිස් නිලධාරීන් රඳවා තබනු ඇති.

 
ප්‍රශ්නය:- ග්‍රාමීය මට්ටමේ වැඩි පොලිස් ස්ථාන සංඛ්‍යාවක් තබා ගැනීමේ අභිප්‍රාය කුමක්ද?
පිළිතුර:- සාමකාමී ශ්‍රී ලංකාවක් තුළ අපරාධ අවම කිරීම සඳහා වැඩි පොලිස් ස්ථාන කිහිපයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ගැන ජනාධිපති රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වෙනවා.

අපට මුලින් රටේ තිබුණේ පොලිස් ස්ථාන 494ක්. සමහර ප්‍රදේශවල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ 40කට වඩා තනි පොලිස් ස්ථානයක වගකීම යටතට අයත් වුණා. වැඩි ජනගහනයක් ඉන්නා නිසා එය කාර්යක්ෂමව රාජකාරී ආවරණය කිරීමට අසීරු දැවැන්ත ප්‍රදේශයක්. ඒ හැරුණු කොට එක් එක් ප්‍රදේශවල අපරාධ සංඛ්‍යාව වැඩිවීම වැනි වෙනත් වැදගත් අවශ්‍යතා තිබුණා. පොලිස් ස්ථානයක් විවෘත කිරීම උදෙසා එවැනි කරුණු සලකා බලන්නට සිදුවෙනවා.

ජනාධිපතිවරයාගේ නියමය අනුව යමින් අධ්‍යයනයක නිරත වූ අමාත්‍යාංශයට සමස්ත රටේ ආරක්ෂාව ආවරණය කර ගැනීම උදෙසා තවත් අමතර පොලිස් ස්ථාන 201ක් අවශ්‍ය බව පෙනී ගියා. අප ඒ සඳහා දෑ අවුරුදු සැලැස්මක් සකස්කොට මේ අවුරුද්දේ පොලිස් ස්ථාන 97ක් විවෘත කිරීමට තීරණය කළා. කොවිඩ් තත්ත්වය නිසා අපට විවෘත කරගත හැකි වූයේ පොලිස් ස්ථාන 78ක් පමණයි. ඉතිරි පොලිස් ස්ථාන 19 මෙම වසරෙත්, ඉතිරි ප්‍රමාණය ඊළඟ වසරේත් විවෘත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ සියලු පොලිස් ස්ථාන විවෘත කිරීමෙන් අනතුරුව අපට වගකීම් දැරිය හැකි ශක්‍යතාවයෙන් යුතු පොලිස් බල ප්‍රදේශ ලැබෙනවා. ජනතාවට තම තමන්ගේ ප්‍රදේශවලට අදාළ පොලිස් ස්ථාන ලැබෙනවා. මේ තුළින් පොලිසියට ජනතාව වෙත වඩාත් සමීප වීමේ හැකියාව ලැබෙතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ අතර පොලිසියටද තම තමන්ගේ බල ප්‍රදේශවල සිදුවන දේ පිළිබඳවද වඩාත් අවදියෙන් සිටීමේ හැකියාව ලැබේවි.

 පොලිසියේ ප්‍රධාන ගැටලුවක්ව පැවතියේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව ප්‍රශ්නයයි. ඊට ක්ෂණික විසඳුමක් ලෙස ජනාධිපතිවරයා පොලිස් ස්ථාන අතර ත්‍රිරෝද රථ 2000ක් බෙදාහැරීමට අවධානය යොමුකළා. ඊට අමතරව ජපාන රජය අපට වාහන 100ක් සහ යමහා 250cc මෝටර් බයිසිකල් (යතුරුපැදි) 150ක් මෑතකදී පොලිසිය වෙත පරිත්‍යාග කළා. ඉන්දිය රේඛීය ණය පහසුකම් යටතේ අපට ඉක්මනින්ම ජිප් රථ 750ක් ලැබීමට නියමිතයි.

මේ සියලු පහසුකම් සමග පොලිසියේ සහභාගිත්වය වර්ධනය වී ඉහළ කාර්යක්ෂමතාවෙන් යුතු සේවාවක් ඉටු කිරීමේ හැකියාව පොලිසියට ලැබේවි. ඒ සමග සෑහෙන තරමින් අපරාධ අඩුවීමක් ඉක්මනින්ම දැක ගැනීමට අපට අවශ්‍යයි.


ප්‍රශ්නය:- පොලිසියේ මිනිස් බල සංචිතය වැඩිකර ගැනීමේ සැලසුමක් ඔබට තිබේද?
පිළිතුර:- ඔව්. මේ වසරේ දැනටමත් අප පොලිස් නිලධාරීන් 10,000ක් අලුතෙන් බඳවා ගෙන තිබුණත් තවමත් පොලිස් සේවාවේ මිනිස් බල අවශ්‍යතාවේ ගැටලුව පවතිනවා. ඊළඟ අවුරුද්ද වන විට පොලිසියේ නිලධාරීන් සංඛ්‍යාව 100,000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රාජපක්ෂ නියෝග දී තිබෙනවා.


ප්‍රශ්නය:- වසර ගණනාවක් තිස්සේ නොදී තිබුණු උසස්වීම් මෑතකදී දෙනු ලැබුවා. එම උසස්වීම් ලැබිය යුතුම නිලධාරීන්ට ලැබුණු බව ඔබ සිතන්නේද?
පිළිතුර:- ඔව්. තම සේවය සම්බන්ධයෙන් තෘප්තිමත්ව ඉන්න පොලිස් නිලධාරීන් බිහිකිරීමට අපට අවශ්‍ය නිසා පොලිස් නිලධාරීන්ගේ තත්ත්වය වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අපට උපදෙස් දුන්නා. එම තත්ත්වය ඇති කරන්නට ඔවුන්ගේ නිල ඇඳුමේ පටන් ඉඳුම් හිටුම් සහ උසස් වීම් දක්වා ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව සොයා බලන්නට අප යොමු වුණා. එය කාලයක පටන් ඉටු නොවුණු කාර්යයක්. උදාහරණයකට සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුරු දක්වා උසස්වීම් 2014 සිට පමාවුණා. එම තත්ත්වය නිසා ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ මට්ටම්වල නිලධාරී උසස්වීම් සිදු කරන්නට අප යොමු වුණා.

අප පොලිසියේ මෙහෙයුම් සහ පරිපාලන අංශවල ප්‍රධාන වශයෙන් වගකීම් දරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  (ASP)  තනතුර වෙත  230 දෙනකුට උසස්වීම් පිරිනැමුවා. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හිඟවීම නිසා තනි නිලධාරියකුට පොලිස් බල ප්‍රදේශ කිහිපයක කටයුතු කරන්නට සිදුවුණා.

පොලිස් සේවාවේ නිරත කාන්තා නිලධාරීන් හටද සම ස්ථාන පිරිනමමින් නියෝජ්‍ය පොලිස්පති තනතුරු තුනකටත්. ස.පො. අධිකාරී තනතුරු 13කටත් උසස්වීම් කාන්තා නිලධාරීන්ට ලබා දුන්නා.
කාන්තා පොලිස් පරීක්ෂකවරුන් සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්  පොලිස් ස්ථාන පාලනය කරන අයුරු ඉක්මනින් දකින්නට හැකිවේවි.


ප්‍රශ්නය:- පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් මෙතෙක් සතුටට පත්වී නැහැ. මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිනම් ප්‍රගතියක් අත්කරගෙන තිබේද? එතුමාට ඔබ දක්වන ප්‍රතිචාරය කුමක්ද?
පිළිතුර:- පාස්කු ඉරිදා සංහාරය සිදුවූයේ අවාසනාවන්ත ලෙස බෝම්බ පුපුරුවා හැරීම් පෙළකින් අහිංසක ජීවිත සිය ගණනක් බිලිගෙන 500 ජනයාට තුවාල සිදු කරමින්. මෙම සංහාරයට හවුල් වූ කිසිම අයකුට අප නිදැල්ලේ යන්නට ඉඩ දෙන්නේ නෑ. මියගිය අයටත් තුවාල ලැබූ අයටත් යුක්තිය ඉටුකර දීමට පොලිසිය දැඩි ලෙස වෙහෙසවී කටයුතු කරමින් සිටිනවා. රජය බලයට පැමිණීමෙන් පසුව නීතිපති දෙපාර්තමේන්තුව මෙම සංහාරයට සැක කෙරෙන පුද්ගලයන් 48 දෙනකුට නඩු පවරා තිබෙනවා. ඊට සම්බන්ධ බවට සැක කෙරෙන 165 දෙනකු අප අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප තවමත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින්නේ ඊට වගකිවයුත්තන් සොයා ගැනීම උදෙසා  දියත් වෙමින් පවතින ක්‍රියාමාර්ගයක් නිසයි.


ප්‍රශ්නය:- එහෙත් වගකිවයුත්තන්ට නඩු පැවරීමේ ක්‍රියාමාර්ග පමා කිරීම ගැන ඇතැමුන් රජයට චෝදනා කරනවා නේද?
පිළිතුර:- එම චෝදනා මා එකහෙළා ප්‍රතික්ෂේප කරනවා. අතීතයේ සිදුවූ ශ්‍රී දළදා මාලිගාවට එල්ල කළ  ප්‍රහාරය, මහ බැංකුවට එල්ල කළ බෝම්බ ප්‍රහාරය වැනි ත්‍රස්ත ප්‍රහාරවලට අදාළ අවසාන නිගමනවලට එන්නට වසර පහක් හතක් පමණ ගත වුණා. පොලිස් විමර්ශනවල කාර්යක්ෂමතාවත් පොලිසියේ කැපවීමත් වෘත්තීය ප්‍රවීණත්වයත් හේතුකොට ගෙන අපට මේ පවතින මට්ටමේ ප්‍රගතියක් අත්කර ගත හැකි වුණා.

මිනිසුන්ට තම තමන්ගේ අනුමාන තිබිය හැකියි. එසේ වුවත් වෘත්තීයමය ආයතනයක් ලෙස පොලිසිය කළ යුත්තේ සාක්ෂි මත සිදු කරන විමර්ශනයක්. අප වෘත්තීය මට්ටමේ විමර්ශන ක්‍රියාමාර්ග පිළිගන්නා නිසා අපට එම අනුමාන මතවාද අදාළ නැහැ.

මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට යම් අයකු හවුල් බව කවුරු හෝ කියන පළියට පොලිසියට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම හෝ චූදිතයකු කළ නොහැක්කේ පිළිගත් නීති රාමුවක් යටතේ අප විමර්ශන කටයුතු කළ යුතු නිසයි. අප ඒවා සනාථ කළ යුතුයි.

අප මෙතෙක් කර ඇති දේ ඇතැම් පූජකවරන් මෙතෙක් අවබෝධ කර නොගැනීම අපට කණගාටුවක්. මේ ගැන දේශපාලන ස්ථාවරයක පිහිටා සිටිනු දකින්නට ලැබීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. විවිධ අභිප්‍රායන්ගෙන් හෙබි ඇතැම් අය පූජකවරුන් සමග එක්වී මහජනයා නොමග යැවීම සඳහා හාත්පසින් වෙනස් පින්තූරයක් මවා පානවා. ඔවුන්ට පදනම්  විරහිත සැක  තියාගන්නට පුළුවන්, ඒත් ඒවා ප්‍රසිද්ධයේ කීම මහා අවාසනාවක්. ගෞරවනීය පුද්ගලයන් නම් මහජනයා අතර සැක සංකා ඇති කරන්නට උත්සාහ ගනීවි යන්න අප පිළිගන්නේ නෑ. මෙතෙක් කල් වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන එන්නට දහඩිය  හෙලූ බුද්ධි අංශයේ නිලධාරීන්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මෙය අනිවාර්යයෙන්ම බලපානවා.

උගත්, ගෞරවනීය ආගමික නායකයන්ගෙන් මා ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙය දේශපාලන සෙල්ලමක් සේ ගෙන මහජනයා තුළ  මෙම විමර්ශන ක්‍රියාමාර්ග සම්බන්ධ සැකයක් ඇතිවන සේ ක්‍රියා නොකරන ලෙසයි.

අප වෘත්තීය මට්ටමෙන් කර ඇති දෑ පිළිබඳව අප ඔවුන්ට කරුණු පහදා දුන්නා. ඔවුනට තවමත් සැක ඇත්නම්, පැමිණිලි ඇත්නම් ඔවුන්ට නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CIDයට) පැමිණිලි කළ හැකියි. අප ඒවා ගැන විමර්ශනය කිරීමට සූදානම්.

තමන්ගේ ජීවිත අහිමි වූවන්ටත් ශාරීරික හා මානසික වශයෙන් තවමත් පීඩා විඳින අයටවත් යථා තත්ත්වයට පත් වන්නට මෙම ප්‍රවණතාවෙන් වැඩ වන්නේ නෑ. පූජක පක්ෂයේ උදවිය ඇතුළු කවුරුහෝ තවත් තොරතුරු දන්නේ නම් අපට ඒ තොරතුරු දෙන්න. එවිට අපට එක්වී වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ආ  හැකියි.

පසුගිය රජය සමයේ ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරිදා ප්‍රහාරවලට පෙරාතුව සිදුවූ ඊට සම්බන්ධ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ක්ෂණික පියවර නොගෙන නොසැලකිල්ලෙන් ක්‍රියා කළේදැයිද  යන්න සොයා බලන්නට අප උත්සාහ ගන්නවා. සහරාන්ගේ මැදිහත්වීම  පැහැදිලිව පෙනෙන්නට තිබියදී සහරාන්ව අත්අඩංගුවට නොගෙන ඇත්තේ  ඇයි? එය සනාථ වන හොඳම උදාහරණය වවුනතිව්හි පොලිස් නිලධාරින් තිදෙනකු ඝාතනය කරමින් ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ මෙම ප්‍රහාර කල්තියා දැනගත නොහැකිව ඒවා එල්ටීටීඊඊයේ පසුකාලීන සාමාජිකයන්ට වැරදි සහගත ලෙස බැර කිරීමයි. ඔවුන් තමන්ගේ විමර්ශනවලදී අන්ධ වී සිටි නිසා අවසානයේ විනාශය සිදු කරන්නට සහරාන්ට එම තත්ත්වය උපකාරී වුණා.

ඔවුන් කල් ඇතිව අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් අසමත් වූයේ ඇයිද යන්න අප සොයා බලමින් සිටිනවා. ලැක්ටෝ වත්තේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම, බුද්ධ ප්‍රතිමාවලට පහරදීම, සහරාන්ගේ සොයුරු රිල්වාන් හසීම් පුපුරණ අවශ්‍ය සමග පර් යේෂණ කිරීමේදී තුවාල ලැබීම වැනි සිද්ධි කිහිපයක්ම සිදුවූවා. එම විමර්ශන පිළිබඳ අවධියෙන් පසුවී සහරාන්ගේ කණ්ඩායම අත්අඩංගුවට ගන්නට අසමත් වුණා. මෙම අන්තවාදීන්ට එරෙහිව කිසි දෙයක් ඔවුන්ට කරගත හැකිවූයේ නෑ.

බෝම්බ පුපුරවා හැරීම් පෙළක් ගැන බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරු ලැබුණත් දැවැන්ත හානිය වළකා ගන්නට ක්ෂණික ක්‍රියාමාර්ග ඔවුන් ගත්තේ නෑ. විනාශය වළක්වා ගැනීමේදී බුද්ධි අංශයෙන් සිදුවූ අඩුපාඩු ගැන අප විමර්ශනය කරනවා. එම රජය කළේ එම සංහාරය වළක්වා නොගැනීමට වගකිවයුතු වූ ඒ අය හෙළිදරව් කොට ඔවුන්ට විරුද්ධව අප නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.


ප්‍රශ්නය:- ඇතැම් පොලිස් නිලධාරීන්ට අල්ලස් ගැනීම, ඇතැම් පාර්ශ්වවලට පක්ෂපාතීව ක්‍රියාකිරීම සහ අක්‍රමිකතා සිදු කිරීම පිළිබඳ චෝදනා එල්ලවී තිබෙනවා. ඔවුන් ගැන සොයා බලන්නට කිනම් පියවර ගෙන තිබේද?
පිළිතුර:- පොලිසියේ කාන්තාවන් හා පිරිමින් 86,000ක් සේවය කරන අතර එයින් සියයට 99ක්ම අවංක වෘත්තීය අතින් ප්‍රවීණ අයයි. ඉතිරි සියය 1 තුළ දූෂිත පුද්ගලයන් ඉන්නා බව මා පිළිගන්නවා. පිරිසුදු පොලිස් සේවාවක් අවශ්‍ය නිසා එවැනි එක් සිද්ධියක් සිදු වුණත් අප ඒ ගැන සිත්තැවුලට පත්ව එම දූෂණ තුරන් කිරීමට පියවර ගන්නවා. එසේ කරන්නේ ඉතාමත් සුළු කොට්ඨාසයක් වුවත් අප ඔවුනට එරෙහිව ක්‍රියා කරනවා.

විශේෂ පොලිස් ශාඛාවකුත්, අපගේ බුද්ධි අංශත් පොලිස් සේවාවේ ඉන්නා එවැනි අය හසුකර ගන්නට කටයුතු කරන අතර ජනතාවටත් එවැනි පුද්ගලයන් ගැන පැමිණිලි කළ හැකියි. එවැනි පොලිස් නිලධාරීන්ට දඬුවම් දීම සඳහා එකෙනෙහිම අප ක්‍රියාමාර්ග ගන්නවා.

ගුණාත්මක බවෙන් හෙබි අධ්‍යාපනයක් තුළින් ද මෙම ගැටලුවට විසඳුම් දිය හැකියි. මේ වනවිට පොලිස් ඇකඩමිය, කොතලාවල ආරක්ෂක ඇකඩමිය සමග ඒකාබද්ධවී අපගේ පොලිස් නිලධාරීන්ට උපාධි  පිරිනැමීම සඳහා කටයුතු කරමින් සිටිනවා. අන්තර්ජාතික වශයෙන් ඔවුන්ගේ හැකියා වර්ධනය කොට අනාගතයේ වඩා යහපත් පොලිස් නිලධාරීන් බිහි කරන්නට ඔවුන්ට ඉදිරියේදී විදේශ පාඨමාලා පවා ලබා දෙනවා.


ප්‍රශ්නය:- රටක ත්‍රස්තවාදය හා අන්තවාදය පිළිබඳ දැඩි පරීක්ෂාවෙන් පසුවීමේ ක්‍රමයක් පවත්වාගෙන යාමේ හැකියාවක් ඇති පොලිස් සේවාවකට ප්‍රධාන වශයෙන්ම බුද්ධිමය තොරතුරු හුවමාරුවක් තිබිය යුතුයි. කලාපීය හා අන්තර්ජාතික පොලිස් සේවා සමග හොඳ සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා කිනම් පියවර ගෙන ඇත්තේද?
පිළිතුර:- පාස්කු ඉරිදා ප්‍රහාරය ඊට හොඳ උදහරණයක්. අපට තොරතුරු ලැබුණත් ඒවා බුද්ධි අංශවල සාකච්ඡාවට ලක්වී ඒවාට ප්‍රමුඛතාව දී නැහැ. අපගේම බුද්ධි අංශවල අදක්ෂතාව නිසා තවත් රටකට එම ප්‍රහාරය ගැන අපට තොරතුරු දෙන්නට සිදුවුණා.

පසුගිය රජය සමයේ මෙම බුද්ධි අංශයත් එකම යාන්ත්‍රණයක් යටතේ ක්‍රියාකාරී වූයේ නෑ. ඔවුන් තම තමන්ගේ කටයුතු බලා ගත්තා. ඒත් මෙම රජය යටතේ සියලුම බුද්ධි අංශ එකම කුඩයක් යටතට ගෙනවුත් සති පතා තොරතුරු වුවමාරු කරමින් සාකච්ඡා පවත්වනවා. අප කල්තියා තර්ජන දකිනවා. තොරතුරු හුවමාරු කර ගන්නවා. ක්‍රියාකාරි යාන්ත්‍රණයක් යටතේ තර්ජන ඇත්නම් ඒවාට එරෙහිව ක්‍රියාකාරී වෙනවා.

අප තනි කණ්ඩායමක් ලෙසයි කටයුතු කරන්නේ. පොලිසියේ ප්‍රධාන බුද්ධියේ හස්තය වූ රාජ්‍ය බුද්ධි සේවාව අන්තර්ජාතික පෙරමුණුවල කටයුතු කරනවා.


ප්‍රශ්නය:- තවත් පොලිස් නිලධාරීන් බඳවා ගන්නා බව ඔබ කීවා. උතුරු නැගෙනහිර පොලිස් ස්ථානවල තවත් පිරිස් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් කුමක් සිදුවේද?
පිළිතුර:- උතුරේ සහ නැගෙනහිර පොලිස් ස්ථාන සංඛ්‍යාව අප වැඩිකර තිබෙන අතර පොලිසියට ලක්ෂයක් බඳවා ගැනීම යටතේ එම පළාත් දෙකේ දමිළ බස කතා කරන අයත් අප බඳවා ගන්නවා. එම පළාත් දෙකේ තරුණයන්ට පොලිස් සේවාවට බැඳෙන ලෙස අප ආරාධනා කරනවා.


ප්‍රශ්නය:- අද වනවිට යුද කටයුතු සිදුවන්නේ වනාන්තරයේ නොව සයිබර් අවකාශයේ. සයිබර් අපරාධ සම්බන්ධ නව තර්ජනවලට මුහුණ දීමට පොලිසිය සූදානම්ද?
පිළිතුර:- සයිබර් තර්ජනවලට එරෙහිව ක්‍රියාකාරී වීම සඳහා පොලිසියේ විශේෂ අංශය හොඳින් සන්නද්ධව සූදානමින් පසුවෙනවා. බුද්ධි අංශයද හැකියාව වර්ධනය කරගෙන තිබෙනවා. මුදල් විශුද්ධිකරණය, මානව ජාවාරම් සහ සයිබර් අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අප විශේෂ අංශයක් පිහිටුවා තියෙනවා. හොඳින් පුහුණු කළ අතිදක්ෂ පොලිස් නිලධාරීන් මෙම විශේෂ ක්ෂේත්‍රවල සේවාවේ යොදවා තිබෙන්නේ ඔවුන් විදේශ පුහුණුවද ලැබීමෙන් පසුවයි.


(***)
සාකච්ඡාව – ශානිකා ශ්‍රියානන්ද
2021 නොවැ. 16 Daily FT පුවත්පතේ පළවූ
No delay in bringing culprits
of Easter Sunday  carnage to book  
නම් සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ