‘කාවන්තිස්ස’ ඝාතනයත් සමඟ අලි - මිනිස් ගැටුමට පිළියම් සෙවීම පිළිබඳ කතාබහ නව මානයකින් ඇරඹී තිබේ. අලි - මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුමකට යන තෙක්, කෙටිකාලීනව අලි මරණ මෙන්ම වගා හා ජීවිත හානි වළක්වා ගැනීමට ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කරන්නට අපි සම්මානනීය, ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පියෙකු මෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකු ද වන ලලිත් ඒකනායක මහතා සම්බන්ධ කර ගතිමු.

විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා මෙම වසරේ ජර්මනියේ පැවති “ග්ලාන්ස්ලිචර්” වනජීවී ඡායාරූප තරගයෙන් මෙන්ම ස්පාඤ්ඤයේ පැවති “හියුමන් ඇන්ඞ් නේචර්” සහ “මෙමෝරියල් මාරියා ලු‍යිසා” පාරසරික ඡායාරූප තරගාවලි ජයග්‍රහණය කිරීමට ද සමත් විය.

අලින් යනු අපේ රටේ සංස්කෘතියේ කොටසකි. අපේ මුතුන් මිත්තන් අලින් සමඟ සහයෝගයෙන් ජීවත් වූ බව නොරහසකි. මනුෂ්‍ය ජනගහනය වැඩිවීමට සාපේක්ෂව ඉඩම් හා කැලෑ ප්‍රමාණය ටිකෙන් ටික අඩුවීම තුළ අලි - මිනිස් ගැටුම වැළැක්වීම අපහසු කරුණකි. නමුත් මෙම ගැටුමට ප්‍රධාන හේතුව වන්නේ මිනිස් ක්‍රියාකාරකම්වල අඩුලු‍හුඩු තත්ත්වයන්ය. දේශපාලන හෝ පෞද්ගලික හේතු මත කැලෑ ප්‍රදේශ මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම නිසා මෙම ගැටලු‍සහගත තත්ත්වය ඇති වී තිබේ. විශේෂයෙන් අලි මංකඩ සහ මාර්ග අවහිර කිරීම, කැලෑ තුළ අලින් ආහාරයට ගන්නා ශාක විනාශ කිරීම ආදී හේතු මත මෙම ගැටලු‍ ඇති වේ.

අලින් සහ මිනිසුන් එකට ජීවත් වන ඉන්දියාව, තායිලන්තය, කෙන්යාව ආදී රටවල් ගණනාවක අලි - මිනිස් ගැටුම අඩු වැඩි වශයෙන් පවතී. එම රටවල් හා සාපේක්ෂව බලන කල ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත්, ආසියානු අලියා මෙරට තුළ ඉතා වේගයෙන් වර්ධනය වේ.

ආසියානු අලියා ජීවත් වීමට උත්සාහ ගන්නේ ඝන කැලෑවලට වඩා කෙටි කැලෑ ලඳුවලය. විශේෂයෙන් අලින්ට අවශ්‍ය පෝෂණය වැව් ආශ්‍රිත කැලෑවලින් ලබාගත හැකි නිසා ඔවුන් වැඩි වශයෙන් එම භූමිවල ජීවත් වීමට පෙළඹේ. කෙසේ නමුත් එවැනි පරිසර පද්ධති බොහෝ විට පිහිටා ඇත්තේ මනුෂ්‍යවාසයට ඉතා ආසන්නවය. අතීතයේ සිටි ගොවීන් අලින් සමඟ සහයෝගයෙන් ජීවත් වූ බව අප අසා තිබුණත්, එම ක්‍රමවේද තවදුරටත් ප්‍රායෝගිකව සිදු කළ හැකි ද යන්න ගැටලු‍වකි. එහෙත් මේ සඳහා විසඳුමක් අප සොයාගත යුතුම අතර, ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් මෙරට තුළ සිටින බව ද අවධාරණය කළ යුතුය.

අලින් වෙනුවෙන් ඉඩම් හෝ අලි මංකඩ නිදහස් කරන අතරම, එම ප්‍රදේශවල ජීවත් වන ජනයාට සහ ගොවීන්ට හානියක් නොවන පරිදි දීර්ඝකාලීන විසඳුමක් සොයාගත යුතුය. නමුත් අප මෙහිදී සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ අපගේ සංස්කෘතික අංගයක් බඳු හස්තීන් ඝාතනය කිරීම පාලනය සඳහා ක්ෂණිකව ගත හැකි පියවර පිළිබඳවය.

 

දඬුවම් යාවත්කාලීන කිරීම

අප මීට විසඳුම් සෙවීම ආරම්භ කළ යුත්තේ 1937 පනවන ලද වනජීවී ආඥා පනතේ ඇති වනජීවීන්ට හානි කිරීම සහ වනසතුන් ඝාතනය කිරීමට අදාළ දඬුවම් යාවත්කාලීන කිරීමෙනි. අලියෙකු මරණයට පත් කරන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් නොව අලින් සමඟ එකම පෙදෙසේ ජීවත් වන පුද්ගලයන් විසින්මය. අලි ඝාතනයට ලැබෙන දඬුවම් ලිහිල් නිසා බොහෝ දෙනා බියසැකයකින් තොරව ඊට පෙළඹී තිබේ.

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 159ක බහුතරයක් තිබෙන බැවින්, වනජීවී ආඥා පනත සංශෝධනය කර දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය දැඩි කළ යුතුය. මා දන්නා ආකාරයට ඉන්දියාවේ දඩ මුදලක් සමඟ වසර 7ක සිරදඬුවමක් ද, තායිලන්තයේ වසර 10ක, නේපාලයේ වසර 15ක, කෙන්යාවේ වසර 20ක සහ ටැන්සානියාවේ වසර 30ක සිරදඬුවම් ද ලබා දේ.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව අලියෙකු හෝ ඇතෙකු ඝාතනය කරන පුද්ගලයෙකුට රුපියල් 150,000 සිට රුපියල් 500,000 දක්වා දඩයක් හෝ වසර 2 සිට වසර 5 දක්වා සිරදඬුවමක් හෝ මෙම දඬුවම් දෙකම ලබා දිය හැකිය. නමුත් ප්‍රායෝගිකව බොහෝ විට සිදු කෙරෙන්නේ දඩ මුදලක් පැනවීම පමණි. එබැවින් සිරදඬුවම අනිවාර්ය කරමින් සහ දඬුවම් කාලය වැඩි කරමින් වනජීවී ආඥා පනත වෙනස් කළ යුතු බව මගේ යෝජනාවයි.

 

නව කාර්ය බලකායක් පිහිටුවීම හා තොරතුරු ලබා දෙන්නන්ට ත්‍යාග

වනඅලි ඝාතනය පාලනය කිරීමට ගත හැකි මීළඟ පියවර වන්නේ වනජීවී දෙපාර්තමේන්තුව සමඟ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ව කාර්ය බලකායක් ස්ථාපිත කිරීමය. මේ වන විටත්ිහස්ති සේනා’ නමින් බලකායක් ස්ථාපිත කර ඇති අතර එය තවදුරටත් ශක්තිමත් කළ හැකිය.

වෙඩි තැබීම්, විදුලි වැට, හක්කපටස්, බඳින තුවක්කු, මරඋගුල් වැනි කුමන හෝ ක්‍රමවේදයකින් අලින්ට හිතාමතා හානි කිරීම පිළිබඳව ක්ෂණික දුරකථන අංකයක් හරහා තොරතුරු ලබාගත යුතුය. එම තොරතුරුවල රහස්‍යභාවය සියයට සියයක් ආරක්ෂා කරමින් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු අතර, සාර්ථක තොරතුරු ලබා දෙන්නන්ට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දහය දක්වා දැනෙන ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත් වනු ඇත.

 

වගා හානි පූර්ණය සඳහා සංචාරක කර්මාන්තයෙන් පිළියම්

අලින් සමඟ මිනිසුන් එක්ව ජීවත් වීම යන කාරණය විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කළ හැකි බව මගේ මතයයි. අලින් කුසගින්න නිවා ගැනීමට ගොවිබිම් කරා පැමිණ අස්වැන්න විනාශ කිරීම නිසා ඇති වන ආර්ථික හානියෙන් පීඩාවට පත්වන මිනිසුන් අලින් ඝාතනය කිරීමට පෙළඹේ.

වනජීවී උද්‍යාන තුළ සිටින හස්තීන් පෙන්වීම වෙනුවට, ගම්මුන් ද සහභාගී කර ගනිමින් අලින් ගම්වදින අයුරු ආරක්ෂිතව සජීවීව නැරඹිය හැකි ස්ථාන ගම්මාන ආශ්‍රිතව සකසා විදෙස් සංචාරකයන් වෙත විවෘත කළ හැකි නම් ඉන් විශාල ආදායමක් ඉපැයිය හැකිය. එම ආදායමින් කොටසක් නිසි ක්‍රමවේදයක් යටතේ ගොවීන් අතර බෙදා දීමෙන් ඔවුන්ට වගාවෙන් ලබන ආදායමට වඩා වැඩි මුදලක් ලබාගත හැකි වනු ඇත. තමන්ට මෙම ආදායම ලැබෙන්නේ අලින් නිසා බව වැටහීමෙන් පසු ගොවීන් ද අලින් ආරක්ෂා කිරීමට පෙළඹේ. සංචාරක කර්මාන්තය මෙරට ප්‍රධාන ආර්ථික සාධකයක් නිසා මෙය පහසු කටයුත්තක් නොවුණත් කළ හැකි දෙයකි.

මා දන්නා පරිදි ගම්වලට එන වනඅලි ආරක්ෂා කිරීමේ කමිටු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර, ඉන්දියානු රජය ඒ වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් ලබා දී ඔවුන්ව දිරිගන්වයි. දකුණු ඉන්දියාවේ වනඅලි ඡායාරූපගත කරන්නට ගිය අවස්ථාවල තේවතු, ගම් ආශ්‍රිත කුඩා කැලෑ කුට්ටි හා මාර්ග අසල සිටින අලින් ආරක්ෂා කිරීමට ගම්වාසීන් ස්වේච්ඡා සංවිධාන පිහිටුවාගෙන කටයුතු කරන අයුරු මම දුටුවෙමි.

 

අනවසර තුවක්කු අත්අඩංගුවට ගැනීම හා ලයිසන් තුවක්කු පාලනය

වසරකට අලි ඇතුන් විශාල ප්‍රමාණයක් ඝාතනය වන්නේ අනවසර ගිනිඅවි භාවිතයෙනි.ිහස්ති සේනා’ ව්‍යාපෘතිය මගින් අනවසර ගිනිඅවි සහ බඳින තුවක්කු සොයා ඉවත් කිරීම මේ වන විටත් සිදු කරමින් පවතින අතර එය තවදුරටත් විධිමත්ව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය. ක්ෂණික දුරකථන අංකය හරහා අනවසර ගිනිඅවි හා බඳින තුවක්කු සවිකරන පුද්ගලයන් ගැන තොරතුරු ලබා දෙන්නන්ට ද ත්‍යාග මුදල් පිරිනැමීමෙන් මෙය පාලනය කළ හැකිය.

එසේම බලපත්‍ර මගින් ලබා දී ඇති ලයිසන් ගිනිඅවි යළි කැඳවා අවශ්‍යතා තක්සේරු කර අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් නිකුත් කළහොත්, දැනට නිකුත් කර ඇති ගිනිඅවිවලින් සියයට 70ක් පමණ අනවශ්‍ය බව පෙනී යනු ඇත. විශේෂයෙන් දළ ඇතුන් ඝාතනය කිරීම වැඩි වශයෙන් ගිනිඅවි භාවිතයෙන් සිදු කරන බැවින් අනවසර සහ ලයිසන් ගිනිඅවි පාලනය අත්‍යවශ්‍ය කටයුත්තකි.

 

දුම්රියේ ගැටී සිදුවන වනඅලි මරණ පාලනයට බිම්ගෙවල්

දුම්රියේ ගැටී වනඅලි මියයාම ඉතා ඉහළ අගයක පැවතීම පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුය. මීට ගත හැකි සාර්ථකම විසඳුම වන්නේ අලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන ස්ථාන හඳුනාගෙන එම කලාප ආවරණය වන ලෙස උමං දුම්රිය මාර්ග ඉදිකිරීමය. ලෝකයේ වෙනත් රටවල මෙන්ම අසල්වැසි ඉන්දියාවේ පවා මෙවැනි පියවර ගෙන තිබෙන අයුරු දැකගත හැකිය.

බුද්ධාගම මුල් කරගත් රටක සංස්කෘතිය හා බැඳී පවතින, දළදා කරඬුව පවා වඩම්මන හස්තියාට මෙතරම් හානියක් සිදු කිරීම පිළිගත නොහැකි තත්ත්වයකි. වනජීවීන් පිළිබඳ ආණ්ඩුවේ උනන්දුව ප්‍රමාණවත් නොවන බව මගේ හැඟීමය. වනසතුන්ට මීට වඩා ප්‍රමුඛතාවක් ලබා දීමෙන් මෙම වටිනා සම්පත ආරක්ෂා කරගත හැකි වන අතරම ලෝකයට ලොකු පණිවිඩයක් ලබා දීමටත්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් එය ඉවහල් වනු ඇත.

වනසතුන් මරණයට පත් කිරීම අලින්ට පමණක් සීමා වූවක් නොව, කඳුකර දිවියාට ද මේ හරහා දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. තේවතු ආශ්‍රිතව බහුලව සිදු කරන මදු ගැසීම්වලට හසු වී කඳුකර දිවියන් අවාසනාවන්ත ලෙස මියයයි. පරිසර හිතකාමී නිෂ්පාදනවලට ලෝකයේ ඉහළ ඉල්ලු‍මක් පවතින අතර අපෙන් තේ මිලදී ගන්නා යුරෝපා රටවල් සත්ත්ව ඝාතන කිසිසේත් අනුමත නොකරයි. යම් දිනක අපේ තේවතු ආශ්‍රිතව වනජීවීන් ඝාතනය වන බව ලොවට සන්නිවේදනය වුවහොත් එය අපේ තේ වෙළෙඳපොළට දැඩි ලෙස බලපානු ඇත. එනිසා රටට විදේශ විනිමය ගෙනෙන තේ වගා බිම් තුළ සිදුවන සත්ත්ව ඝාතන වැළැක්වීමට රජය වහා ඇස් හැර බැලිය යුතු කාලය එළඹ තිබේ. විශේෂයෙන් මා විසින් ද ඡායාරූපයට නඟන ලද කාවන්තිස්ස හස්තියා ඝාතනය කිරීම අතිශය කනගාටුදායක සිදුවීමක් වන අතර, මෙවැනි සිදුවීම් ඉදිරියට වළක්වා ගැනීමට මැදිහත් වීම අත්‍යවශ්‍යය.

 

 කසළ කඳු නිසා අකාලයේ මියයන අලි

අලි - මිනිස් ගැටුමේම අතුරු ප්‍රතිඵලයක් ලෙස ගම්මාන කරා ගිය විට සිදුවන හිරිහැර නිසා වනඅලි වනාන්තර ආසන්නයේ ඇති කසළ කඳු වෙත නැඹුරු වී තිබේ. කසළ සමඟ ඇති පොලිතින් හා ප්ලාස්ටික් ආමාශයට ඇතුළු වීම නිසා සැලකිය යුතු අලින් ප්‍රමාණයක් ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. සාමාන්‍ය වනඅලියෙකු වසර 70ක් පමණ ජීවත් වුවද, කසළ ආහාරයට ගන්නා අලින්ගේ ආයු කාලය වසර 35ක් පමණ දක්වා අඩකින් අඩු වන බවිභ්එමර්ක ්‍යසිඑදරහ ඵමිැමප’ වාර්තා මගින් හෙළි වී තිබේ. එනිසා අලින් ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව කසළ අංගණ ඉදිකිරීම වළකන අතරම පවතින කසළ අංගණ වෙනත් ප්‍රදේශ කරා ගෙනයාමට රජයේ අවධානය යොමු විය යුතුය.

අලි - මිනිස් ගැටුම යනු සංකීර්ණ ගැටලු‍වකි. එහිදී වනඅලින් මෙන්ම මිනිසුන්ගේ ගැටලු‍ පිළිබඳව ද සානුකම්පිතව බලා විසඳුම් ලබා දිය යුතුය. වනඅලින් නිසා රාත්‍රියට නින්දක් නොමැතිව තම වගාවන් රැකගැනීමට මිනිසුන් කරන කැපකිරීම පැහැදිලි ගැටලු‍වකි. අවශ්‍ය නම් මේ සඳහා විසඳුම් සැපයිය හැකි විශේෂඥයන් සම්බන්ධ කර දීමට ද අපට හැකියාව පවතී. මෙම ක්‍රියාදාමය නිසි ලෙස ක්‍රියාත්මක කළ හැකි නම්, සත්ත්ව හිංසනය අඩුම පරිසර හිතකාමී සුන්දර රටක් ලෙස ආඩම්බර විය හැකි වන අතර, වර්තමානයේ පවතිනිඅලි - මිනිස් ගැටුම’ නුදුරේදීම රටට ඩොලර් ගෙනෙනිඅලි - මිනිස් සහජීවනයක්’ බවට පරිවර්තනය කරගැනීමට හැකි වනු ඇත.

නිරෝෂාන් ප්‍රේමරත්න ( IJ)