ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතරින් හය වසර සඳහා වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මේ වසරේ ක්‍රියාත්මක නොකර ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන්නට කැබිනට් මණ්ඩලය පසුගිය අඟහරුවාදා තීරණය කිරීමත් සමග එම ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ ගාලගෝට්ටිය අවසන් වූ බවක් පෙනේ.
තමන් ආණ්ඩුව දණ ගැස්වූ බව කියමින් දැන් විරුද්ධ පක්ෂවලට සතුටුවිය හැකිය. අනෙක් අතට තමන් කිසිඳු ප්‍රතිසංස්කරණ යෝජනාවක් අත් නොහළ බවත් කර ඇත්තේ ඒවායින් හය වසරේ ප්‍රතිසංස්කරණ පමණක් කල් දැමීම පමණක් බවත් යැයි කියමින් ආණ්ඩුවටද සතුටුවිය හැකිය.
දැන් කිසිවකුත් කිසිවකුටත් පරාජය වී නැත. ප්‍රශ්නයද බොහෝ දුරට විසඳී ඇති බවක් පෙනේ. ඉංග්‍රීසියෙන් win-win situation යැයි කියන්නේ මෙවැනි අවස්ථාවලටය.
හය වසරට අදාළ ප්‍රතිසංස්කරණ හැර අනෙක් ශ්‍රේණිවලට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන විරුද්ධ පක්ෂවල හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවල හෝ විරෝධයක් ඇති බවක් නොපෙනේ. වෙනෙකක් තබා හය වසර සඳහා වූ වෙනත් විෂයවලට අදාළ මොඩියුල සම්බන්ධයෙන්ද කිසිවකුගේ විරෝධයක් ඇති බව පෙනෙන්නට නැත.
හය වසර සඳහා වූ වෙනත් විෂයවලට අදාළ මොඩියුල පෙන්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා රූපවාහිනී සංවාදයකදී එම මොඩියුල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේදැයි ඇසූ විට විරුද්ධ පක්ෂවල නියෝජිතයන් එවැනි ප්‍රශ්නයක් ඇති බව පැවැසුවේ නැත.
එසේ නම්, අනෙක් ශ්‍රේණි සඳහා වූ මොඩියුල සම්බන්ධයෙන් හෝ හය වසර සඳහා වූ ඉංග්‍රීසි මොඩියුලය හැර අනෙක් මොඩියුල සම්බන්ධයෙන් හෝ ගැටලුවක් නැත්නම් හය වසර සඳහා වූ ඉංග්‍රීසි මොඩියුලයේද එකම ගැටලුව එහි එක තැනක එම වයසේ දරුවන්ට නුසුදුසු වෙබ් අඩිවියක සබැඳියාව (ලිංක් එක) සඳහන්ව තිබීම නම් එය ද වරදක් බව ආණ්ඩුව පිළිගත්තේ නම් විරුද්ධ පක්ෂ පසුගිය දිනවල සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළම හෙළා දුටුවේ මන්ද යන ප්‍රශ්නය මතුවේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම ගැන තමන් විරුද්ධ නොවන බවත් තමන් විරුද්ධ වන්නේ අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත. එසේ කියන්නට සමලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන ඉහත කී වෙබ් අඩවියට ළමයින් යොමු කරන සබැඳියාව ඉංග්‍රීසි මොඩියුලයට ඇතුළත් කිරීම ආණ්ඩුවේ අනුදැනුම ඇතිව සිදුවී තිබිය යුතුය. ඒ බවට සාක්ෂි ඔහු සතුව තිබේද? තිබේ නම් ඔහු එය රටට හෙළිදරව් කළ යුතුය.
මෙම නුසුදුසු සබැඳියාව පිළිබඳව මෙම ප්‍රශ්නකාරී මොඩියුලය සකස් කළ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් මෙම කලබලගෑනියට පෙර දැන සිටි බවක් පෙනෙන්නට නැත. එසේ නම් මේ බව මුලින්ම දැනගත් පුද්ගලයන් කළ යුතුව තිබුණේ මහා ඝෝෂාවක් කර එම සබැඳියාව දැන ගැනීම පිළිබඳ ළමයින් තුළද කුතුහලයක් ඇති නොකර ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඒ ගැන විමසීමය.
එහිදී ආණ්ඩුවේ යම් ප්‍රතිපත්තියක් අනුව එම සැබඳියාව ඇතුළත් කළ බව එම ආයතනයේ ප්‍රධානීන් පවසන්නේ නම් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ ගැන විමසිය යුතුව තිබිණි. විරෝධය දැක්විය යුතුව තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශයද එය දේශපාලන තීරණයක් අනුව ඇතුළත් වූවක් බව තහවුරු කරන්නේ නම් පමණි.
දැන් සිදුව ඇත්තේ මෙම සබැඳියාව කුමක්දැයි දැන ගැනීමට හය වසර ළමයින් පමණක් නොව ඊට බාල හා වැඩිමහල් ළමයින් තුළද කුතුහලයක් හා උනන්දුවක් ඇතිවීමයි. මේ කාලයේ වයස අවුරුදු දහයේ බොහෝ ළමයින්ට ද වෙබ් අඩවිවලින් තොරතුරු සොයා ගැනීමට තක්ෂණික දැනුමක් ඇත. ළමයින් තම වටපිටාවෙන් සමලිංගිකත්වය පිළිබඳ මූලික දැනුම හා අත්දැකීම මුලින්ම ලබා ගන්නේ වයස අවුරුදු 10- 12 පමණ වන විටය. එහෙයින් ඒ වයසේදී ළමයින් තුළ ඒවා ගැන දැන ගැනීමට කුහුලක් හා උනන්දුවක් ඇතිවීම ස්වාභාවිකය. මේ ගාලගෝට්ටියෙන් සිදුවූයේ එවැනි ළමයින්ට රුකුල් දීමකි.
සමලිංගික යනු කුමක්දැයි මෙම ප්‍රශ්නයෙන් පසු තමන්ගේ දරුවන් තමන්ගෙන් ඇසූ බව ඇතැම් විරුද්ධ පක්ෂ දේශපාලඥයෝද රූපවාහිනී සංවාදවලදී පැවසූහ. ඇත්ත වශයෙන්ම එවැන්නක් සිදු වූයේ නම් එය සිදුවූයේ තවමත් ළමයින් අතරට නොගිය මොඩියුලය නිසාද නැත්නම් ඒ පිළිබඳව ගොඩනැගුණු ඝෝෂාව නිසාද යන්න තේරුම් ගැනීම අපහසු නැත. ළමයින් එසේ තමන්ගෙන් ඇසූ බවට මෙම දේශපාලනඥයන් කරන ප්‍රකාශය අසත්‍යයක් නම් එම ප්‍රකාශය රූපවාහිනියෙන් විකාශය වූ පසු එම ළමයින් ඔවුන්ගෙන් එය සැබැවින්ම අසන්නට ඉඩ තිබේ.
මත භේදයට තුඩු දුන් මෙම මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා වැයවූ රුපියල් කෝටි හතක් පමණ වන මුදල අය කර ගන්නේ කාගෙන්දැයි දැන් විරුද්ධ පක්ෂ ප්‍රශ්න කරයි. එය සාධාරණ ප්‍රශ්නයකි. එහෙත් එම ඉංග්‍රීසි මොඩියුලය මුළුමනින්ම ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර නැත. අධ්‍යාපන ඇමැතිනියද වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී පැවැසුවේ ප්‍රශ්නයට තුඩු දුන් සැබැඳියාව ඇතුළත් පාඩම පමණක් අදාළ මොඩියුලයෙන් ඉවත් කරන බවය.
එහෙත් පොතක මැදින් කොළ ගණනාවක් ඉවත් කළ විට එම පොතේ පිටු අංක හා පාඩම් අංක වෙනස් කළ යුතුවනු ඇත. එය කෙසේ කෙරෙන්නේදැයි අධ්‍යාපන බලධාරීන් තවමත් පැහැදිලි කර නැත. කුමක් කළත් මෙම ප්‍රශ්නය නිසා රජයට අමතර වැය බරක් දරන්නට සිදුවීම නොවැළැක්විය හැකිය. එහෙයින් එහි වගකීම දරන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නය අනිවාර්යයෙන්ම මතුවනු ඇත.
එහෙත් එසේ නුසුදුසු සැබැඳියාවක් මොඩියුලයක ඇතුළත් කිරීම වැනි වැරැදි නිසා රජයට ඇතිවූ පාඩුව අදාළ පුද්ගලයන්ගෙන් අයකර ගැනීමේ ක්‍රමයක් හෝ නීතියක් මේ රටේ තිබේදැයි නොදනිමු. එවැනි නීතියක් තිබේ නම් එවැනි වැරැදි බොහෝ දුරට වළකා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
එවැනි නීතියක් මෙතෙක් මේ රටේ තිබුණේ නම් 2015 සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව, රට බංකොලොත් කිරීම වැනි දේටත් කවුරුන් හෝ මුදලින් වන්දි ගෙවිය යුතු වනු ඇත. කෝප් කමිටුව හා රජයේ විගණන කාර්යාලය විසින් නාස්තිය ලෙස නිගමනය කෙරෙන බොහෝ සිදුවීම්වලටද කවුරුන් හෝ වන්දි ගෙවීමට සිදුවනු ඇත.
පසුගිය සති කීපය තුළ රට තුළ ඇතිවූ ආන්දෝලනය කුමක්දැයි දැන් ආපසු හැරී බැලිය යුතුය. මොඩියුලයක වරදක් සිදුවී තිබිණි. විශාල ඝෝෂාවක් මගින් එය පෙන්වා දෙනු ලැබීය. ආණ්ඩුවද එය වරදක් බව පිළිගත්තේය. නිවැරැදි කිරීමටද විවිධ යෝජනා ඉදිරිපත් කෙරිණි. අවසානයේදී හය ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් කල් දැමිණි. ඝෝෂාව බොහෝ දුරට යටපත් විය.
ප්‍රතිඵලය වූයේ ලිංගිකත්වය පිළිබඳ අනවශ්‍ය කුතුහලයක් ළමයින් අතරට යාමත් ප්‍රතිසංස්කරණය කල් දැමූ ශ්‍රේණියේ ළමයින්ට පරණ පෙළ පොත ඉගෙනීමට සිදුවීමත් අගමැතිනියට අපහාස කිරීමත් පමණි. මේ සියල්ලට හේතු වූයේ විපක්ෂය මෙම ප්‍රශ්නය මගින් රටේ ජනතාවගේ හැඟීම් අවුළුවා දහස් ගණනින් ජනතාව පාරට ගෙන්වා ආණ්ඩුව පෙරළිය හැකිදැයි සිතීමය.
සිදුවූ වරදට ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ හෝ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන්ගේ හෝ දායකත්වයක් තිබුණු බවට දැනට තිබෙන කරුණු අනුව සිතිය නොහැකිය. මෙය වෙනත් සබැඳියාවක් ඇතුළු කරන්නට යාමේදී සිදුවූ වරදක් විය හැකිය. එවැනි දෑ සිදුවේ.
කුමාර් පොන්නම්බලම් මහතාගේ මරණය වෙනුවෙන් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නිකුත් කළ ශෝක පණිවිඩයේ සටහන්ව තිබුණේ සය මසකට පෙර දිනයකි. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා මේ ගැන විශාල ඝෝෂාවක් කළේය. වරක් දේශපාලනඥයකුගේ හා නිළියකගේ ඡායාරූප මාරුවී එක්තරා පුවත්පතක පළවීමෙන්ද විශාල ආන්දෝලනයක් ඇති විය.
1980 ගණන්වලදී වරක් සෝවියට් සංගමයට අයත් මෝල්ඩෝවියා රජයේ ජාතික දිනය වෙනුවෙන් ලැබුණු ආරාධනාවක් හරි හැටි කියවා නොගත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එම උත්සවයට ගොස් මාලදිවයින් ගැන කතාවක් පවත්වා තිබිණි. හදිසි නීතිය හා ඇඳිරි නීතිය පටලවා ගැනීම නිසා මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට ඉල්ලා අස්වන්නට සිදු විය. ඒ අනුව මෙවැනි වැරැදි සිදුවිය හැකිය යන්න අප පිළිගත යුතුය.
එසේම මෙම මොඩියුලයට මෙම නුසුදුසු සබැඳියාව ඇතුළත් කිරීම හිතාමතාම කළ දෙයක්ද විය හැකිය. මේවා ඇතුළත් කරන්නෝ ඇමැතිවරු නොවෙති. නිලධාරීහුය. ඔවුන් අතර දේශපාලනය ඉහට ගැසූ පුද්ගලයන් සිටිය හැකිය. ඒ අතර වෙනත් හේතු නිසා ආණ්ඩුව අසීරුවට පත් කරන්නට බලා සිටින නිලධාරීහු සිටිති. අත්වැරැද්දකින් මෙන්ම එවැනි නිලධාරීන්ගේ දැනුවත් පෙළැඹවීමක් නිසාද මෙවැනි වරදක් සිදුවිය හැකිය. නිසි පරීක්ෂණයක් මගින් මෙම ගැටලුව නොවිසඳුවහොත් දැනට ප්‍රශ්නය යටපත් වුවද ඉදිරියටද ආණ්ඩුවට මේ පිළිබඳව චෝදනා එල්ල විය හැකිය.
මෙම ආන්දෝලනයේදී සමාජ මාධ්‍යය තුළ විශේෂයෙන්ම ෆේස් බුකියෙහි දක්නට ලැබුණු බොහෝ දෑ අතිශයින්ම අප්‍රසන්නය. සැබැවින්ම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුල් කරගෙන අසභ්‍යකරණයක් සිදුවී තිබුණේ පෙළපොත්වල නොව ෆේස් බුකියෙහිය. ඉතා පැහැදිලිව නිරීක්ෂණය වූ දෙයක් නම් ඒ සියලු අසභ්‍ය ප්‍රකාශ කර තිබුණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරෝධය දක්වන මුවාවෙන් ආණ්ඩු විරෝධයක් පවත්වාගෙන ගිය පිරිස්ය. ඔවුන් ඒ සියලු ප්‍රකාශ කර තිබුණේ යහපත් අධ්‍යාපනයක නාමයෙන් වීම සැලකිල්ලට ලක් කළ යුතු කරුණකි.
දැන් තමන් මහජන මතයට කන්දී හය වසරට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමූ බව ආණ්ඩුව කියනු ඇත. එහෙත් මහජන හඬට බියවී ආණ්ඩුව එම ප්‍රතිසංස්කරණ හකුලා ගත් බව විපක්ෂය කියනු ඇත. ප්‍රතිසංස්කරණ කල් දැමීම එසේ කුමන අර්ථයෙන් විග්‍රහ කළද එමගින් ඇතිවූ සැබෑ ප්‍රශ්නයක්ද ඇත. එනම් අනෙක් සියලු ශ්‍රේණිවල සිසුන් අලුත් ප්‍රතිසංස්කරණ යටතේ සකස් කරන ලද මොඩියුල භාවිත කරද්දී හය වසරේ සිසුන් පමණක් පැරැණි පෙළපොත් භාවිත කිරීමය. මෙමගින් යම් අසමතුලිතතාවක් ඇතිවේ නම් ඊට මුහුණ දීම පිළිබඳවද ගුරුවරුන් දැනුවත් කළ යුතු වනු ඇත. හය වසරේ සියලු විෂයන් නොව ඉංග්‍රීසි මොඩියුලය පමණක් කල් දැමීමට හැකි වූවා නම් හොඳය.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය වුවද විරුද්ධ පක්ෂය වුවද අධ්‍යාපනය දේශපාලනීකරණය කිරීමත්, අධ්‍යාපනය දේශපාලන අවශ්‍යතා අනුව හැසිරවීමට උත්සාහ කිරීමත් අපරාධයකි. වත්මන් මවුපිය පරපුර එක්තරා දුරකට අධ්‍යාපනය ලැබුවෝය. ඔවුන් තම දේශපාලන මතිමතාන්තර පසෙකලා මෙවැනි බලපෑම් කෙරේ නම් ඊට වගකිව යුත්තන් හඳුනා ගැනීමට උත්සාහ කළ යුතුය. මන්ද යත් එවැනි බලපෑම් මගින් අඳුරු වෙතොත් අඳුරු වන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය වන බැවිනි.
(*** එම්.එස්.එම්. අයුබ්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd