IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ස්කැන්ඩිනේවියානු සාහිත්‍යය සහ සාහිත්‍ය නිර්මාණ (4)

මතක හා මතය


ස්වීඩනයේ සෙල්මා ලැගර්ලෝර්ෆ් (Selma Lagerlof) පරිකල්පනය ආත්ම කොට ඇති අද්භූතවාදී (Romantic) ලෝකය දෙසට නැඹුරු වූවෙකි. මාර්ටින් ඇන්ඩර්සන් නෙක්සෝ (Martin Andersen Nexo) ඩෙන්මාර්කයේ ගොවි ජීවිතය චිත්‍රණය කළේය. ඩෙන්මාර්කයටම අයත් ජොහැන්නස් වී ජෙන්සන් (Johannes V Jensen) තම 'දිගු ගමන' (The Long Journey) නම් කෘතිය මගින් මිනිසාගේ පරිණාමය සොයා ගියේය.

ජොහැන්නස් වී ජෙන්සන් (Johannes V Jensen) 1873 අවුරුද්දේ ඩෙන්මාර්කයේ ෆෝසෝ නුවරදී උපත ලැබුවේ ගොවි පරපුරක දරුවෙකු වශයෙනි. ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා කෝපන්හේගන් නුවරට ගිය මුත් එය අවසන් නොකොටම අතහැර දැමුවේ දේශදේශාන්තරයන්හි සංචාරය කිරීමේ බලවත් ආශාවක් ඔහු තුළ හටගත් බැවිනි.

ඔහුගේ ඉතා හොඳ කාව්‍ය නිර්මාණයන්ගෙන් සමහරකට සහ මුල් කාලයේ ලියැවුණු නවකතාවලට පසුබිම් වී ඇත්තේ විදේශයන් වුවද (1897 ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය ගමන පසුතල කොට ලියැවුණු නවකතා දෙකක් වෙයි.) ඔහු තම නිර්මාණ ආවේශය සොයා ආපසු තම ජනතාව හා තම දේශය වෙතටම පැමිණි බවට ඔහුගේ වෙළුම් තුනකින් යුත් කෙටිකතා සංග්‍රහය දෙස් දෙයි. මා මේ සිංහලට නගා ඇති කෙටිකතාවද එම සංග්‍රහයෙහි එන්නකි.

1944 අවුරුද්දේ ඔහුට නොබෙල් ත්‍යාගය හිමි කරදුන් ඔහුගේ මහා කෘතිය වූකලී කොටස් හයකින් යුත් 'මහා දිග ගමන: නමැති මහා කාව්‍යයයි. එක් අවස්ථාවක මිනිසා වන මෘග තත්වයේ දියුණු වානරයෙකු වශයෙන් දිවි රැකගෙන සිටියේය. එකල ඔහු කෙමෙන් පිබිදී එන බුද්ධියකින් යුතුයි. ඇමෙරිකාව සොයා ගන්නා අවස්ථාව වන විට මිනිසා ගොඩනගන්නෙකු හා සැඟවුණු දේ හෙළිකොට දක්වන්නෙකුද , අලුත් දේ නිපදවන්නෙකුද වශයෙන් ඉස්මතු වී ආවේය. එකී අවස්ථා දෙක අතරතුර සිදුවූ මිනිසාගේ වර්ධනය ජොහැන්නස් වී ජෙන්සන් තම

'මහා දිග ගමන' මහා කාව්‍යය මගින් සලකුණු කොට දක්වයි.

තමා ඉගෙන ගත් එසේම පදිංචි වී සිටි නගරයේදීම ඔහු 1950 අවුරුද්දේ මියගියේය. හෙන්රි කොමගර් විසින් Lost Forests නමින් ඉංග්‍රීසියට නගන ලද ජොහැන්නස් වී ජෙන්සන්ගේ කෙටිකතාවේ මගේ සිංහල පරිවර්තනයයි මේ.


ඩෙන්මාර්ක් ලේඛක ජොහැන්නස් වී ජෙන්සන්ගේ වහලෙකුගේ කතාව

කෝරා යනු පොළොව කොටා ජීවත් වුණු මිනිහෙකුගේ නමයි. මුදල් ටිකක් ඉතිරි කර ගත් පසු ඔහු වහලෙකු මිල දී ගැනීම පිණිස නගරයට ගියා.

වහල් වෙළෙන්දා ඔහුට වහලුන් කීප දෙනෙකු පෙන්නුවා. ඒත් කෝරා සෑහීමකට පත්වුණේ නෑ.

"මට කියල වහල්ලු සේරම එළියට ඇදගන්නයි ඔහෙගෙ කල්පනාව මගෙ හිතේ."

වහල් වෙළෙන්දා මැසිවිලි කිව්වා. ඒ මද්දහන් වෙලාවෙ වහලුන් සේරම හිටියෙ තද නින්දෙ.

"මට වෙන තැනකට යන්න බැරි කමක් නෑ."

කෝරා ගාණකට නැතුව කිව්වා. "පොඩ්ඩක් ඉන්නවකො එහෙනං"

වහල් වෙළෙන්දා දම්වැල් ඇද්දා. වහලුන් නිදිමතේම පෙළ ගැසී සිටියා. ඔවුන් සියලු දෙනා දෙසම බැලූ කෝරා ඒ හැම එකෙකුම ඉතාමත් පරිස්සමෙන් පරීක්ෂා කළා.

"මේකා අල්ලල බලනව. හොඳ ගොරහැඩි එකා."

වහල්වෙළෙන්දා එක් වහලෙකු ඉදිරියට තල්ලු කරමින් කිව්වා.

"මොකද ඔහේ හිතන්නෙ? මේකට හොඳ හැඩි දැඩි පපුවක් නැද්ද? හොඳට ඇනල බලනව පපුවට. මේ බලනව මේකගෙ අතේ මැණික් කටු දිහා. නහර වැල් හරියට රවිකිඤ්ඤ කම්බි වගෙයි.

"ඒයි කට ඇරපන්."

වහලාගේ කට ඇතුළට ඇඟිල්ලක් රිංග වූ වහල් වෙළෙන්දා ඔහු එළිය ඇති දිහාවට හැරෙව්වා.

"දැන් ඔහෙට නියම දත් ටිකක් බලන්න පුළුවන්."

වහල් වෙළෙන්දා කයිවාරු කිව්වා. ඔහු පිහි තලයක පිට පැත්ත වහලගෙ දත් ඇන්ද දිගේ එහාට මෙහාට ඇද්දා.

"බලනව.මේ දත් හරියට වානෙ වගෙයි.මේවයින් ඇණයක් දෙකට කඩන්න පුළුවන්."

ඒත් මඳ වේලාවක් කල්පනාවට වැටී සිටි කෝරා වහලාගේ සිරුර තක්සේරු කරමින් හොඳ හැටි අත ගෑවේ එම සිරුරේ මොළොක් මස් පිඬු තදට පිහිටා ඇත්දැයි තම ඇඟිලි තුඩු වලින් තදකොට බලමිනි. අන්තිමේදී ඔහු එම වහලා මිලදී ගැනීමට තීරණය කළා. මුහුණ ඇඹුල් කරගෙන වහලාගේ මිල ගෙවූ කෝරා ඔහු මාංචු වලින් මුදවාගෙන ගෙදර ගෙන ගියා.

වැඩි දවසක් යන්නට පෙර වහලා ලෙඩ වී කෙට්ටුවෙන්න පටන් ගත්තා. වහල් වෙළඳ පොළෙන් නිදහස් වී දැන් ස්ථිර තැනක පදිංචි වෙලා ඉන්න වහලා, තමා අයත් වනාන්තර යළි දැකීමේ ආශාවෙන් පෙළෙන්නට උණා. කෝරා රෝග ලක්ෂණ හඳුනා ගත්තා. ජීවිතය කෙරෙහි ආශාව අත හැර උඩු බැලිව බිම වැතිර උන් වහලා අසලින් වාඩි වූ කෝරා දිනක් ඔහු සමග කල්පනාකාරීව කතා කිරීමට පටන් ගත්තා.

"නුඹට නුඹේ වනාන්තරවලට ආපහු ගිය හැකියි. බය වෙන්න එපා. මම පොරොන්දුවක් දෙන්නං. මගේ පොරොන්දුව විශ්වාස කරපන්. නුඹ තාමත් තරුණයිනෙ. අවුරුදු පහක් ආශාවෙන් මහන්සියෙන් මගේ කුඹුරු අස්වද්දල දුන්නොත් මම නුඹ නිදහස් කරනව , මම නුඹ මිලදී අරන් තිබුණත්. අවුරුදු පහක්. ඒක වාසි නැද්ද?"

ඉන් පසු වහලා වැඩ කළා. යක්ෂාවේශ වූවෙකු මෙන් වැඩ කළා. වහලාගේ කළු හමින් වැසුණු මස් පිඬු ගැට ගැහෙන හැටි, සලිත වන හැටි. දොරකඩ හිඳගෙන බලා සිටීම කෝරාට ප්‍රීතියක් වුණා. තමාට වෙන කරන්නට දෙයක් නොමැති වූ නිසා කෝරා දවසේ පැය ගණනක්ම අර විදියට බලා උන්නා. සිරුර සුන්දර වස්තුවක් බවත් ඇසට සතුට ගෙන දෙන්නන් බවත් ඔහුට කෙමෙන් පසක් වන්නට උණා.

අවුරුදු පහක්. වහලා ගණන් බැලුවා. සූර්ය නිවෘත්ති ( පොළව වටා ගමන් කරන්නාක් මෙන් පෙනෙන සූර්යා ඛගෝල සමකයෙන් දූරස්ථව පිහිටන අවස්ථා) සංඛ්‍යාව ඔහු ගණන් බැලුවේ තමා සතු ඇඟිලි සංඛ්‍යාව අනුවයි. හිරුට ගමන් වාර දහයක් සම්පූර්ණ කළ යුතුව තිබුණා. හැම හැන්දෑවකම හිරු බැස යනු බලා සිටි ඔහු ඒ ගමන් වාර ගණන ලකුණු කරගත්තේ ගල් කැට හා ඇබිත්තං පස් ගොඩලිවලිනුයි. පළමු වන හිරු ගමන ඔහු ගැණ ගත්තේ තම දකුණු අතේ මාපටැඟිල්ලෙන්. තවත් සූර්ය නිවෘත්තියකට අයත් කාල පරිච්ඡේදය අවසානයේ ( එය අනන්තයක් මෙන් පෙනුණා.) දබරැඟිල්ල නිදහස්ව තිබුණා. තම වහල් භාවය අවසන් වන කාලසීමාව ලකුණු කර ගැනීමට උපකාර වන මේ ඇඟිලි දෙකට ඔහු අන් සියලු ඇඟිලිවලට වඩා ආදරය කළා.

මෙසේ දින ගැණීම හා කාල පරිච්ඡේදය ලකුණු කිරීම වහලාගේ ආගම මෙන්ම ඔහුගේ අභ්‍යන්තර වස්තුව හා ආධ්‍යාත්මික සම්පත බවට පත්වුණු අතර එය කිසිවෙකුට ඔහු කෙරෙන් උදුරා ගත නොහැකි හෝ ඔහු සමග වාද කළ නොහැකි හෝ දෙයක් වුණා.

කාලය ගතවීමත් සමගම වහලාගේ ගැණීම එන්න එන්නම වැඩි වුණා. පුළුල් වුණා. ගැඹුරු වුණා ඔහුට අල්ලා ගත නොහැකි අනන්ත සංකල්ප රූප සමුදායක් ලෙසින් අවුරුදු ගණන ඇදී ගියා. එහෙත් බැහැගෙන යන සෑම හිරු මඬලකින්ම නිකුත් වන එළිය දකින වහලා තම බලාපොරොත්තුව යළි නිර්මාණය කරගත්තා. තම විශ්වාසය වෙනුවෙන් යළි යළිත් කැප වුණා. වර්තමානය කෙරෙන් අතුරුදන් වී ගිය කාලය අතීතයේදී අක් මුල් නැත්තක් සේද අනාගතය අනන්ත වූ දුරක පවතින්නක් සේද ඔහුට පෙනුණා.

ඒ අයුරින් වහලාගේ අධ්‍යාත්මය ගැඹුරු වී ගියා. තම ආශාව විසින් කාලය අනන්ත වූවක් කරනු ලැබීමත් සමගම ඔහුගේ ලෝකයද අනන්ත වූවක් බවට පත්ව ගියා. හැම හැන්දෑවකම වහලා ඈත එපිට බස්නාහිර දිහාවට ඇස දල්වාගෙන කල්පනාවේ ගිලී සිටියා. බැහැගෙන යන සෑම හිරු මඬලක් නෑරම ඔහුගේ අධ්‍යාත්මය තව තවත් ගැඹුරු වී ගියා.

අන්තිමේදී පස් අවුරුද්ද ගෙවී ගිය පසු - ඒ බව වචනයෙන් කීම කොයි තරම් ලේසිද? - තම ස්වාමියා වෙත පැමිණි වහලා තම නිදහස ඉල්ලා සිටියා. වනාන්තර අතර ඇති තම ගෙදර වෙත යන්නට ඔහුට අවශ්‍ය වුණා.

"නුඹ බොහෝම විශ්වාසවන්තව වැඩ කළා."

. කෝරා සාවධානව පිළිගත්තා.

"නුඹේ ගෙදර තියෙන්නෙ කොහෙද කියහන්. ඒක තියෙන්නෙ බස්නාහිර පැත්තෙද? මං හුඟක් වෙලාවට දැකලා තියෙනවා නුඹ ඒ පැත්ත බලාගෙන ඉන්නවා"

ඔව්. ඔහුගෙ ගෙදර තිබුණෙ බස්නාහිර පැත්තෙ.

"එහෙනං ඒක බොහොම දුරයි." කෝරා පැවසුවා. වහලා හිස වැනුවා. බොහොම දුරයි.

. "ඉතින් නුඹ ළඟ සල්ලි තියෙනවද? නෑනෙ!"

වහලා නිහඬව උන්නා. ඔහුගේ හිත දොම්නසින් පිරුණා. නෑ. ඒක හරි. ඔහු ළඟ සල්ලි තිබුණෙ නෑ.

"මේ බලහං. සල්ලි නැතුව නුඹට කොහාටවත් යන්ඩ බෑ. නුඹ මං ළඟ තව අවුරුදු තුනක් වැඩ කෙරුවොත් ! නෑ තව අවුරුදු දෙකක් ! මම නුඹේ ගමනට සෑහෙන්න සල්ලි දෙන්නම්."

හිස නැමූ වහලා ආපසු වැඩ කරනු පිණිස ගියා. ඔහු ඉතා හොඳින් වැඩ කළා. ඒත් ඔහු ගත වන දින ගණන කලින් වගේ ලකුණු කර තබා ගත්තෙ නෑ. ඒ වෙනුවට ඔහු දවල් කාලෙ සිතිවිල්ලෙ ගිලී ඉන්න පුරුදු වුණා. එසේම ඔහු නින්දෙදි අඬන හඬ කෝරාට ඇහුණා.

ටික කලකට පසු වහලා ආපසහු ලෙඩින් වැටුණා.

ඔහු ළඟ වාඩි වූ කෝරා ඉතා උනන්දුවෙන් ඔහු සමග සෑහෙන වෙලාවක් කතා කළා. ඔහු කතා කළේ බොහෝ නුවණැති දැන මුත්තෙකුගේ ස්වරයෙන්. හැබැයි අත්දැකීම් ඇති කෙනෙකුගේ විලාසයෙන්.

"මම නාකි මිනිහෙක්. ඔහු පැවසුවා. මමත් තරුණ කාලෙදි බස්නාහිර පැත්තට යන්න ආශාවෙන් උන්නා. මහා වනාන්තර අත වනා මාව කැ⁣ඳෙව්වා. නමුත් ගමනට සෑහෙන තරං සල්ලි මගේ අතේ කවදාවත් තිබුණෙ නෑ. දැන් නං මං කවදාවත් එහාට යන්නෙ නෑ. මං මැරිලා මගේ ආත්මය එහාට යන තුරු. නුඹ තාම තරුණයි. දක්ෂයි..ඒ වගේම මහන්සි වෙලා වැඩ කරනවා. ඒත් මගේ තරුණ කාලෙදි මට නොතිබුණ විදියෙ ශක්තියක් දක්ෂකමක් නුඹ ළඟ අමුතුවෙන් තියෙනවායැ. මේවා ගැන කල්පනා කරහන්. නාකි මිනිහෙක් දෙන මේ අවවාදවලට ඇහුම්කං දීහං. ආපහු සනීප වෙන්න බලාපන්."

ඒත් වහලාගෙ අසනීප ගතිය දුරුවී ගියේ හෙමින් හෙමින්, ඔහු ආපහු වැඩ කිරීමට පටන් ගත්තත් ඔහු තුළ කලින් තිබූ උද්යෝගිමත් භාවය අතුරුදහන්ව ගොස් තිබුණා ඔහු ඉක්මනින් වෙහෙසට පත්වුණා. ඔහුගේ පරමාර්ථය ව්‍යර්ථ වෙලා. වැඩක යෙදී සිටින අතරතුර බිම වැතිර නිදා ගැනීමට ඔහු ආශා කළා. ඉන් පසු දිනක් කෝරා ඔහුට කසයකින් තැලුවා. එයින් ඔහුට හොඳක් වුණා. ඔහු වැලපුණා

අවුරුදු දෙක ගෙවී ගියා.

ඉන් පසු කෝරා ඇත්තටම වහලාට නිදහස දුන්නා. ඔහු බස්නාහිර දිහාවට ගියා. ඒත් මාස ගණනකට පසු ඔහු ඉතාමත් දුඃඛිත තත්වයකින් ආපහු පැමිණියා. ඔහුට තම වනාන්තර හොයාගන්නට බැරිවෙලා.

"නුඹට පේනවද?"

කෝරා පැවසුවා.

"මං නුඹට කල් ඇතුව කිව්වෙ නැද්ද? මං නුඹට හොඳක් කළේ නැතැයි කියලා කිසි කෙනෙක් කියන්නෙ නෑ. ආපහු උත්සාහ කරලා බලහං. මේ පාර නැගෙනහිර පැත්තට පලයන්. නුඹේ වනාන්තර ඒ පැත්තෙ තියෙන්න පුළුවන්."

නැවත වරක් වහලා පිටත් වී ගියා. මේ වර නැගෙනහිර දිශාවට මුහුණ ලා. බොහෝ දුරක් ඒ මේ අත ඇවිද ගිය ඔහු අන්තිමේදී තම වනාන්තර වෙත ළඟා වුණා. ඒත් ඔහුට ඒවා හඳුනා ගැනීමට බැරි වුණා. සියලුම ඔද සිඳී ගොස් පරාජිත තත්වයට පත් වෙලා බස්නාහිර දෙසට හැරුණා. ආපහු තම ස්වාමියා වෙත පැමිණි ඔහු තමාට ලොකු කුඩා බොහෝ වනාන්තර හමුවූ නමුත් ඒවා තමාගෙ වනාන්තර නොවන බව කියා හිටියා.

කෝරා කැස්සා.

"නුඹ මා ළඟ නැවතියං."

කෝරා කරුණාවන්ත ලෙස කිව්වා.

"මම ජීවත් වෙනකං නුඹට මේ පොළොවෙ කවදාවත් ගෙදරක් නැති වෙන්නෙ නෑ. මං මළාට පස්සෙ මගේ පුතා නුඹ රැක බලා ගනීවි."

ඉන් පසු වහලා නතර වුණා

කෝරා වයස්ගත වුණා. ඒත් වහලා තාමත් නාඹර තරුණ වියේ පසු වුණා. වහලා බොහෝ කලක් ජීවත් කරගනු පිණිස ඔහු පිරිසිදුව තබා ගත් කෝරා ඔහුගේ යටහත් පහත් බව හා ගරු සරුකම පවත්වා ගැනීම පිණිස සුදුසු ප්‍රස්තාවලදි ඔහුට කස පහරද දුන්නා. ඒත් ඔහු වහලාට විවේකය අඩු කළේ නෑ. හැම ඉරිදාම පස් ගොඩැල්ලක් උඩ ඉඳගෙන බස්නාහිර පැත්ත දිහා ඇස් දල්වා බලා ඉන්න ඔහුට නිදහස ලැබුණා.

කෝරාගෙ ගොවිපළේ අස්වනු සරු වුණා. තම වහලාට වැඩ ලබාදීම පිණිස වනාන්තර මිලදී ගත් ඔහු ඒවා එළිපෙහෙළි කරවා වගා කරන්නට පටන් ගත්තා. වහලා දැඩි අදිටනකින් යුතුව ගස් පෙරළුවා. කෝරා දැන් ධනවතෙක්. දිනක් ඔහු වහලියක ගෙදර ගෙනාවා.

අවුරුදු ගණනක් ගෙවී ගියා. කෝරාගෙ ගෙදර යෝධ වහල් කොල්ලන් හය දෙනෙකු වැඩුණා. තම පියා වගේම ඔවුන්ද උද්යෝගිමත්ව වැඩ කළා. කෙනෙකු වැඩ කරනකොට තමයි කාලය ගතවෙලා යන්නෙ කියලයි ඔවුන්ගෙ පියා ඔවුන්ට කිව්වෙ. කාලය ගත වෙලා ගියහම සදාතන වනාන්තර ගැන සිතීම අප වෙහෙස වන්නක්. සෑම විවේක දවසකම බහින හිරු දෙස බලා සිටිනු පිණිස පුතුන්ද සමග පස් ගොඩැල්ල වෙත ගිය වහලා. ඔවුන්ටද ආශාව ඉගැන්නුවා.

කෝරා මහලුව ජරපත්ව ගියා. ඇත්ත වශයෙන්ම ඔහු හැමදාම හිටියෙ මහලු වී නමුත් දැන් වයස්ගත බව හැරෙන්නට ඔහු කෙරෙහි වෙන ඉතිරි වූ කිසිම දෙයක් තිබුණෙ නෑ. කෝරාගෙ පුතුන් කවදත් ශක්ති සම්පන්නව හිටි අය නොවුණත් ඔවුන්ට කිසිවෙකු ගැන බය වෙන්නට කාරණාවක් නොතිබුණේ එක පොලු පහරකින්ම මිනිසෙකු බිම හෙළීමේ හැකියාව ඒ හැම වහල් කොල්ලෙකු තුළම පැවතීම නිසයි. උන් කදිම වහල් කොල්ලො. උන්⁣ගෙ යකඩ මස් ගොබවල මස් පිඬු දැඩිව ඝනව පිහිටා තිබුණා. උන්ගෙ දත් කොටි දත් වගෙයි. ඒත් කාලය පරෙස්සමට හිටියා. තම පොරෝ ඉහළ පහළ යැවූ ඒ වහල් කොල්ලන් යෝධ මහා ගස් පෙරළා දැමුවා.



අදහස් (0)

ස්කැන්ඩිනේවියානු සාහිත්‍යය සහ සාහිත්‍ය නිර්මාණ (4)

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1572 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site