
20 වන ශත වර්ෂයේදී නෝර්වීජියාව , ඩෙන්මාර්කය හා ස්වීඩනය යන ස්කැන්ඩිනේවියානු රටවල් තුනම විශිෂ්ට ගණයේ නවකතාකරුවන් බිහි කළේය.
ජොහාන් බෝජර් (Johan Bojer) සහ ක්නූට් හැම්සුන් (Knut Hamsun) නෝර්වීජියානු ජන ජීවිතය ගැන ශෝකාකූල කතා ලියූහ. සිග්රිඩ් අන්ඩ්සෙට් (Sigrid Undset) වයිකිංවරුන්ගේ යුගයේ පටන් නූතන යුගය දක්වා නෝර්වේ ඉතිහාසය සටහන් කර තැබීය.
ස්වීඩන් ජාතික නාට්‍යකරුවෙකු
වන ඔගස්ට් ස්ට්‍රින්ඩ්බර්ග් ( August Strindberg) තුළද පෙර කී ලේඛකයන් තුළ පැවති ශ්‍රේෂ්ඨ ශක්තීන්ට සම කළ හැකි ශක්ති විශේෂයන් කීප අතකින් පැවතියද ඔහුගේ කෘතීන් තම කටුක අහිතකර අසුබ වාදයෙන් විකෘත වූහයි ඇතැම් විචාරකයෝ පවසති.
1849 අවුරුද්දේ ස්වීඩනයේදී උපන් ස්ට්‍රින්ඩ්බර්ග්ගේ සම්පූර්ණ නම ජොහාන් ඔගස්ටි ස්ට්‍රින්ඩ්බර්ග්
(Johan August Strindberg) වෙයි. ඔහු උපන්නේ තම දෙමාපියන් විවාහ වී මාස දෙකකට පසුය. ඒ වන විටත් ඔවුන්ට දරුවෝ දෙදෙනෙක් සිටියහ. අන්ත අසන්තුෂ්ටියෙන් යුත් ළමා වියකින් හා තරුණ වියකින් පසු ස්ට්‍රින්ඩ්බර්ග් නාට්‍ය රචනයට පිවිසුණි. ඔහුගේ එක් නාට්‍යයක් නැරඹූ ස්වීඩනයේ 15 වන චාල්ස් රජු එයින් පිනා ගොස් ස්ට්රින්ඩ්බර්ග්හට විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වයක් ප්රදානය කළේය. එහෙත් නොබෝ කලකින් රජු මිය ගියෙන් ස්ට්‍රින්ඩ්බර්ග් රාජකීය පුස්තකාලයේ රැකියාවක් සොයා ගති.
එහිදී ඔහු චීන බස හැදෑරුවේය. දික්කසාද වී සිටි වංශාධිපතිනියක සමඟ විවාහ වුණු ස්ට්‍රින්ඩ්බර්ග් 1891 දී ඇගෙන් වෙන් විය. ඉන් පසු ඔස්ට්‍රියානු තරුණියක සමඟ විවාහ වුණු ඔහු ඇගෙන්ද වෙන් වුණු අතර අවසානයේ සනීපාගාරයක කලක් වැස තුන් වන වරටත් විවාහ වී යළිත් වෙන් විය. විවාහ වී සිටින අතරතුර මෙන්ම වෙන් වී සිටින අතරතුරද ඔහු චීන බසට හා නාට්‍ය කලාවටත් ටික කලක් රස විද්‍යාවටත් ඉතා තදින් සම්බන්ධ වී කටයුතු කළේය.
ඔහුගේ මුල් නාට්‍ය බෙහෙවින් ඓතිහාසික හෝ යථාර්ථවාදී ගණයට වැටේ. අධ්‍යාත්ම ඝට්ටනය නාට්‍යාකාරයෙන් දැක්වීම අරමුණු කොටගෙන ඔහු පසු කල ලියූ නාට්‍ය සංකේතාත්මකය. භාව ප්රකාශනාත්මකය. එනම් එමගින් ජීවිතය ඉදිරිපත් කෙරෙන්නේ අපට පෙනෙන සැටියෙන් නොවේ. කලාකරුවා බලවත් හැඟීමෙන් යුතුව එය පතන සැටියෙනි.ස්ට්‍රින්ඩ්බර්ග්ගේ නාට්‍ය යුරෝපයේත් ඇමරිකා එක්සත් ජනපදයේත් නාට්‍යවලට බල පෑම් ඇති කළ බැව් කියැවේ.
ඔහු කෙටිකතාකරුවෙකු , නවකතාකරුවෙකු හා කවියෙකු වශයෙන් ද ප්රකටය. තමා දෙවියන් සෙවූ මුත් හමු වූයේ යක්ෂයා යැයි ස්ට්‍රින්ඩ්බර්ග් තම තුන් වන ආත්ම චරිත කතාවෙහි ලා පැවසීය.
ස්ට්‍රින්ඩ්බර්ග්ගේ 63 වන උපන්දින සැමරුම ජාතික උත්සවයක් විය. එහෙත් ඔහු එය සැලකුවේ අවඥාවෙනි. ඔහුට නොබෙල් ත්‍යාගය පිරිනැමීමට යන බවටද රාවයක් පැතිර පැවතුණි. "මං පිළිගන්නව නං පිළිගන්නෙ නොබෙල් තෑග්ගට විරුද්ධ තෑග්ගක් විතරයි." ඔහු ක්ෂණිකව පිළිතුරු දුනි.
ඔගස්ට් ස්ට්‍රින්ඩ්බර්ග්ගේ සියලුම නිර්මාණ ආත්ම චරිත ලක්ෂණ සහිතය. ආත්ම පාපොච්චාරණ සහිතය. ස්ට්‍රින්ඩ්බර්ග් විවාහය හා ස්ත්‍රී වර්ගයා කෙරෙහි දැක්වූයේ උග්‍ර ජුගුප්සාවකි. විවාහය හා ස්ත්‍රී වර්ගයා කෙරෙහි ඔහු දැක්වූ එම ආකල්පය අති සංක්ෂිප්ත ලෙසත් අති සංකීර්ණ ලෙසත් අති ප්‍රබල ලෙසත් ප්‍රකාශ කරන ක්ෂුද්‍ර නිර්මාණයකි මවිසින් සිංහලට නගන ලද මෙම 'පරමාදර්ශී විවාහයක්' යන්න.
එක් වීමෙන් හා වෙන් වීමෙන් නිරතුරු කැලඹී ගත් තම විවාහ ජීවිතයේ අත්දැකීම් ඇසුරින් බිහි වූවක් යැයි සිතිය හැකි ස්ට්‍රින්ඩ්බර්ග්ගේ මෙම විශිෂ්ට නිර්මාණය වූකලී මිනිසාගේ මතිමතාන්තර ඉක්මවා පවත්නා
අධ්‍යාත්ම ගුණ ධර්මයන්හි සනාතන අගය මනාව ධ්වනිත කරන්නකි.
ස්වීඩන් ලේඛක
ඔගස්ටි ස්ට්‍රින්ඩ්බර්ග්ගේ
පරමාදර්ශී විවාහයක්
ගැහැනු ළමයින් හුදෙක් අනාගත සැමියන්ගේ ගෘහ පාලිකාවන් වීම සඳහාම ඇති දැඩි කළ උන් බව ඇය සිහි කළේ කෝපයෙන්.ඒ නිසා ඇය ජීවිතයේ හැම අවස්ථාවකටම මුහුණ දීමට ශක්තිය ලබා දෙන කර්මාන්තයක් ඉගෙන ගෙන සිටියා. ඈ කෘත්‍රිම මල් සෑදුවා.
සැමියෙකුගේ අඹුකමට යෑම ගැහැනු ළමයින්ගේ එකම බලාපොරොත්තුව බව ඔහු සිහි කළේ කනගාටුවෙන්. තම ජීවනෝපාය තමාටම සලසා ගත හැකි නිදහස් නිවහල් ගැහැනියක කසාද බැඳගන්න ඔහු අධිෂ්ඨාන කරගත්තා. තමා හා සමතැන් ගන්නියක මෙන්ම ජීවන සහකාරියද විය හැක්කේ එවැනි ගැහැනියකට මිස ගෘහ පාලිකාවකට නොවේ.
ඔවුන් හමු විය යුතු බවට දෛවය නියම කර සිටියා. ඔහු සිත්තරෙක්.මං කලින් සඳහන් කළා වගේ ඈ මල් සෑදුවා. යට කී අදහස් ඔවුන්ගේ සිතේ පිළිසිඳගත් කාලේ දෙන්නම වාසය කළේ පැරීසියේ.
ඔවුන්ගේ විවාහයේත් ශෛලියක් තිබුණා.ඔවුන් පැසීවලින් කාමර තුනක් ගත්තා. මැදින් පිහිටියේ සිත්තර කාමරයයි. ඊට දකුණු පැත්තෙන් ඔහුගේ කාමරය.වම් පැත්තෙන් ඇගේ කාමරය. ස්වභාව ධර්මයේ දකින්නට
නොලැබෙන්නාවූත් මහත්වූ දුුරාචාරයටත් දුශ්චරිතයටත් වග කිව යුතු වන්නා වූත් ඒ පිළිකුල් කට යුතු දේ වන පොදු නිදන කාමරයත් ජෝඩු ඇඳත් එමගින් අහෝසි වී ගියා. එකම කාමරයක හිඳ ඇඳුම් ඇඳීමටත් ඒවා ඉවත් කිරීමටත් සිදු වීමෙන් වන අපහසුවද එයින්ම දුරු වුණා. එකිනෙකාට වෙනම කාමරයක් තිබීමත් සිත්තර කාමරය අවිශේෂ පොදු සම්මුඛ ශාලාවක් වීමත් වඩා හොඳ දෙයක් වුණා.
ඔවුන්ට වැඩකාරයෙකු අවශ්‍ය උණේ නෑ. ඉවුං පිහුං කටයුතු තමන්ගේ අතින්ම කරගන්නා අතර උදේ හවස පමණක් මහලු වැඩ කාරියක යොදා ගන්න ඔවුන් සිතුවා. මේ සියලු දෙයක් ම ඉතා හොඳින් සිතා මතා තිබුණු අතර එය න්‍යායක් හැටියට ඉතා විශිෂ්ටයි.
"යම්කිසි විදියකින් ඔහෙලට ළමයි එහෙම ලැබුණොත්?"
මේ ගැන සැක පහළ කළ උදවිය ප්‍රශ්න කළා.
"විකාර.එක් කෙනෙක්වත් ලැබෙන්නේ නෑ!"
එය කදිම ලෙස ක්‍රියාත්මක වුණා. උදේ මාරකැට්ටුවට යන ඔහු කන බොන දේ සැපයුවා.ඉන් පසු ඔහු කෝපි පිළියෙල කළා.ඇඳන් සකස් කර තැබූ ඈ කාමරද පිළිවෙළකට සකස් කළා. ඉන් පසු ඔවුන් වාඩි වී වැඩ කළා.
වැඩ කිරීමෙන් වෙහෙසට පත් ඔවුන් ඕපා දූප කතා කළා. එකිනෙකාට හොඳ අවවාද දී ගත්තා. සිනාසුණා. අතිශයින් විනෝද වුණා.දහවල් 12 ට ඔහු කුස්සියෙ ගිනි මෙළෙව්වා.ඈ එළවළු පිළියෙල කළා. ඇය වීදිය හරහා කඩපළට දුව ගිය අතර ඔහු හරක් මස් පිසුවා.ඉන් පසු ඈ කෑම මේසය සකස් කළා. ඔහු රෑ කෑම මේසෙට ඇරියා.
ඇත්තටම ඔවුන් එකිනෙකාට ආදරය කළේ අඹුසැමියන් ආදරය කරන ලෙසින්මයි.සුබ රැයක් වේවා!යි එකිනෙකාට කියා ඔවුන් තම තමාට අයිති කාමරවලට ගියත් ඔහු පැමිණ ඇගේ දොරට තට්ටු කළ විට ඔහු එහි පිවිසෙනු වළකනු පිණිස ඇගේ කාමරයේ දොරගුලු තිබුණෙ නෑ.ඒත් ඉඩ කඩ ඉතා සුළු නිසා උදේ ඔවුන් සිටියේ ඔවුන්ගේම කාමරවලයි. ඉන් පසු ඔහු බිත්තියට තට්ටු කළා.
"සුබ උදෑසනක් පුංචි කෙළි පැංචියෙ. කොහොමද අද ඔයාට?
"හරී හොඳයි අනේ! කොහොමද ඔයාට?
උදේ කෑම වෙලාවෙ ඔවුන්ගේ හමුව කවදාවත් නීරස නූණ අලුත් අත්දැකීමක් වගෙයි.නොයෙක් විට හවස් යාමයේ එකට එළියට ගිය ඔවුන් නිතර නිතර තම පළාත් වාසීන් හමුවුණා. දුම්කොළ ගඳට විරෝධයක් නොපෑ ඈ කවදාවත් ඊට බාධා කළේ නෑ.හැමෝම කිව්වේ එය පරමාදර්ශී විවාහයක් කියායි.මේ තරම් සංතෝෂයෙන් කල දවස ගෙවන යුවළක් කිසි කෙනෙකු කිසි දිනක දැන හිටියෙ නෑ.ඒත් මේ තරුණ බිරිඳගේ දෙමාපියන් බොහෝ දුරක වාසය කළ අතර ඔවුන් නිතරම පාහේ ලියුම් ලියමින් නොයෙක් විදියේ නොසියුම් ප්‍රශ්න අහන්න වුණා.ඔවුන් මුනුපුරෙකුට හෝ මිනිපිරියකට ආසාවෙන් හිටියා. විවාහය නමැති සංස්ථාව පැවතුණේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මිස දෙමව්පියන් ගේ ප්‍රයෝජනය සඳහා නොවන බව ලුයිසා මතක තබා ගත යුතුයි! ලුයිසා මේ මතය සැලකුවේ පරණ තාලෙ එකක් හැටියටයි.අලුත් අදහස්වල ප්‍රතිඵලය මනුෂ්‍ය වර්ගයා නැත්තටම නැති වෙලා යාම බව ඇයට කල්පනා නො වී දැයි අම්මා ඇහැව්වා. ලුයිසා කවදාවත් ඒ දිහා ඒ ආකාරයෙන් බලා තිබුණෙ නැහැ. ඇරත් ඒ ප්රශ්නය ගැන ඇය උනන්දුවක් දැක්වුවෙත් නෑ. ඇයත් සැමියාත් දෙදෙනාම කල් ගෙවුවෙ සංතෝෂයෙන්.
අන්තිමේදී සතුටෙන් ජීවත් වන විවාහක යුවළක් පිළිබඳ දර්ශනය ලෝකයට ඉදිරිපත් උණා. ඉතින් ලෝකය ඊරිසියා කරන්න පටන් ගත්තා.
ජීවිතය ඉතා ප්‍රසන්න උණා. දෙදෙනාගෙන් එක් කෙනෙකුවත් ස්වාමියෙකු වශයෙන් ක්‍රියා කළේ නෑ. ඔවුන් තම විය පැහැදං සම සේ බෙදා ගත්තා. වරක් ඔහු වැඩියෙන් හම්බ කළා.වරක් ඈ වැඩියෙන් හම්බ කළා. ඒත් අන්තිමේදී ඔවුන් ඒ හම්බ කළ දේ එකට දැමීමෙන් ඇති කළ පොදු අරමුදල දෙදෙනාටම සම සේ බෙදුණා.
ඉන් පසු ඇගේ උපන් දිනයක් එළඹුණා. ඇය එදින උදේ අවදි උණේ අර මහලු වැඩ කාරිය කාමරයට ඇතුළු වන හඬිනුයි.ඇගේ අතේ මල් කලඹක් හා හැම තැනම මලින් සිත්තම් කළ ලියුමක් තිබුණා. පහත සඳහන් වචන එහි ඇතුළත් උණා.
"මල් කැකුළක් වන් මැතිනියට
ඇගේ සිත්තරාගෙනි.ඔහු ඇයට
දිගාසිරි පතයි. එසේම සුළු මුත් ඉතා උත්කෘෂ්ට උදා භෝජනයකට වහා තම ප්‍රිය සමාගමය ලබා දීමෙන් ඔහුට ගෞරවය දක්වන ලෙස ඔහු ඇයගෙන් අයැද සිටියි".
ඈ ඔහුගේ දොරට තට්ටු කළා.
"ඇතුළට එන්න!"
ඔවුන් ඇඳ උඩම වාඩි වෙලා උදේ
කෑම ගත්තා.ඔහුගේ ඇඳ උඩම.හැම වැඩක්ම කර ගැනීම සඳහා මහලු වැඩකාරිය මුළු දවස පුරාම නවත්ත ගත්තා.එය සුන්දර උපන් දිනයක් උණා.
ඔවුන්ගේ සතුට කවදාවත් හීනවී ගියේ නෑ.එය අවුරුදු දෙකක්ම පැවතුණා.හැම අනාගත වක්තෘ කෙනෙකුගේම අනාවැකි බොරු වුණා.
එය පරමාදර්ශී විවාහයක් වුණා!
ඒත් අවුරුදු දෙකක් ගතවූ තැන තරුණ බිරිඳ ලෙඩ උණා. බිත්තියේ
ඇලවූ පත්තරවල තිබුණු කිසියම් විස බීජයක් නිසා ඇය ලෙඩ වන්නට ඇතැයි ඇය පැවසුවා.මොනවා හෝ විස බීජයක් ඊට හේතු වන්නට ඇතැයි ඔහු කියා සිටියා. ඔව්. සිකුරටම බීජයක් නම් තමයි. මොනවා උණත් මොකක් හරි වැරැද්දක් නං සිද්ද වෙලා තිබුණා. විය යුතු පරිද්දෙන්ම යමක් සිද්දවී තිබුණෙ නෑ. ඇයට හෙම්බිරිස්සාව වැලඳෙන්නට ඇති. ඉන් පසු ඈ තර වුණා.ඇගේ ශරීරය තුළ ගෙඩියක්වත් හටගෙනද? ඔව්, ඇයට එවැන්නක් යැයි සිතා ඔවුන් බිය ගත්තා.
දොස්තර කෙනෙකු ළඟට ගිය ඇය ගෙදර ආවෙ අඬ අඬා. ඒක ඇත්තටම වැඩුණු දෙයක්.ඒත් කවද හරි දවසක ඉර එළිය දකින දෙයක්. මලක් බවට වැඩී පල දරන දෙයක්.සැමියා නම් කිසි සේත් ඇඬුවෙ නෑ. ඔහු ඒ තුළ දුටුවෙ ශෛලියක්. ඉන් පසු තම සමාජ ශාලාව වෙත ගිය අසරණයා තම මිතුරන්ට ඒ ගැන පුරසාරං දෙඩුවා.ඒත් බිරිඳ තාමත් ඉන්නෙ වැලපෙමින්.දැන් ඇගේ තත්වය කුමක් වේද?වැඩ කරමින් මුදල් හම්බ කිරීම ඇයට වැඩි දවසක් කරන්නට නොහැකි වනු ඇත. එවිට ඔහුගෙන් යැපෙන්නට සිදුවනු ඇත. ඒ වගේම ඔවුන්ට වැඩකාරයෙකුත් හොයා ගන්න වෙයි! අයියෝ! ඔය වැඩකාරයොයි කියන ජාතිය!
ඔවුන්ගේ පරිස්සම්වීම් අනතුරු ඇඟවීම් හා පරීක්ෂාකාරීකම් සියල්ලම නොවැළැක්විය හැකිකම නමැති ගල් පරයේ හැපී සුන් බුන්ව ගොස් තිබුණා.
. ඒත් ඔවුන් උනන්දු කරවන විදියේ ලියුම් ලියූ නැන්දම්මා නැවත නැවතත් කියා සිටියා දෙවියන් වහන්සේ විසින් විවාහය ඇති කරන ලද්දේ දරුවන්ගේ ආරක්ෂාව උදෙසා බවත් දෙමාපියන්ගේ ආස්වාදය සුළු කොට තැකිය යුතු බවත්.
අනාගතයේ ඇයට කිසිවක් හම්බ කරන්න නොහැකිවීම පිළිබඳ කරුණ අමතක කොට දමන ලෙස
හියුගෝ ඉතා ඕනෑකමින් ඇයගෙන් අයැද සිටියා.බිලිඳාගේ මව් තනතුරේ
කටයුතු කිරීම ඇයට අයිති වැඩ කොටස සම්පූර්ණයෙන් ඉටු කිරීමක් නොවන්නේද?එය මුදල් තරම්ම හොඳ දෙයක් නොවන්නේද? හරි හැටි තේරුම් ගත්තම මුදල් කියන්නෙ වැඩ කිරීම මිස වෙන කිසි දෙයක්නොවෙයි. එම නිසා ඇගෙන් තමන්ගේ කොටස සම්පූර්ණයෙන් ගෙවුණා.
ඔහුට තමා නඩත්තු කිරීමට සිදුවීම පිළිබඳ කරුණ සිතින් දුරලන්න ඇයට දීර්ඝ කාලයක් ගත වුණා. ඒත් දරුවා බිහි උණාට පස්සෙ ඇයට එය මුළුමනින්ම අමතකව ගියා. ඔහුගේ බිරිය ලෙසිනුත් සහචාරිනිය ලෙසිනුත් පෙර සේම රැඳී සිටීමට අමතරව ඈ ඔහුගේ දරුවාගේ මව් තනතුරද දැරුවා.අන් කිසිවකටත් වඩා වටිනා දෙය එය බව ඔහුට පෙනී ගියා.
2025 ඔක්තෝබර් මස 08
1572
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ස්කැන්ඩිනේවියානු සාහිත්‍යය සහ සාහිත්‍ය නිර්මාණ - 3