IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ස්කැන්ඩිනේවියානු සාහිත්‍යය සහ සාහිත්‍ය නිර්මාණ (1)

මතක හා මතය

අයිස්ලන්තය , ඩෙන්මාර්කය , නෝර්වීජියාව සහ ස්වීඩනය යන රටවල් වෙසෙස් කොට හැඳින්වෙන්නේ ස්කැන්ඩිනේවියානු නාමයෙනි. ස්වීඩනයේ දිස්ත්‍රික්කයක් සඳහා වන 'ස්කේනී' යන පැරණි යෙදුම ඇසුරෙන් මෙම නාම ව්‍යවහාරය බිහිව ඇත. යුරෝපයේ වඩාත් උතුරට බරව පිහිටි ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය සෑදී ඇත්තේ නෝර්වීජියාව හා ස්වීඩනය යන දෙරට එක්වීමෙනි. ඩෙන්මාර්කය ජර්මනියෙන් උතුරු දෙසට සමීප වන අර්ධද්වීපයකි.

රුධිරය , භාෂාව සහ ඉතිහාසය අනුව ස්කැන්ඩිනේවියානු රටවල ජනයා සමීප ඥාති සම්බන්ධතා ඇත්තෝය. ඔවුන්ගේ මුතුන් මිත්තෝ නෝර්ත්මන්වරුන් හෙවත් වයිකිං වරුන් නමින් දන්නා නිර්භය මුහුදු ගමන් යන්නෝය.කොලම්බස් එන්නටත් ශත වර්ෂ ගණනකට පෙරාතුව උතුරු ඇමෙරිකානු වෙරළට බට නෝර්ත්මන්වරු යුරෝපයේ අස්සක් මුල්ලක් නෑර විහිදී ගියහ. 1944 දක්වා ඩෙන්මාර්කය සමග එක්ව තිබුණු අයිස්ලන්තයේද ඔවුහු පදිංචි වූහ.

ස්වීඩනය , නෝර්වීජියාව සහ ඩෙන්මාර්කය 1397 දක්වා ස්වාධීන රාජ්‍යයෝ වූහ. ඉක්බිති ඩෙන්මාර්කය මගින් ඒවා කල්මාර් එකමුතුව නමින් එක්සත් කෙරුණි. ස්වීඩනය 1523 දී එකමුතුවෙන් ඉවත් විය. නොර්වීජීයාව 1814 දී ස්වීඩනය අතට පත් වන තුරු ක්‍රියාත්මක වශයෙන්ම ඩෙන්මාර්කයේ යටත් රාජ්‍යයක්ව පැවතුණි. 1905 දී ස්වීඩනය නොර්වීජියාවට නිදහස දුන්නේය.

19 වන ශත වර්ෂයේදී විශාල වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය
ස්කැන්ඩිනේවියානුවන්ගෙන් වැඩි දෙනෙක් ජනපදයන්හි , විශේෂයෙන් විස්කොන්සින් , මිනසෝටා සහ උතුරු ඩැකෝටාහි පදිංචි වූහ. ස්කැන්ඩිනේවියානු ජනයා අතර පවත්නා සමීප ඥාතිත්වය ඔවුන්ගේ භාෂාවන්ගෙන් ප්‍රකට වෙයි. ක්‍රි.ව.1000 පමණ පිතෘ ස්කැන්ඩිනේවියානු භාෂාවට ප්‍රවිෂ්ට වූ සෑහෙන තරම් වෙනස්කම් කරණකොටගෙන උප භාෂා තුනක් පහළ විය. නූතන ස්වීඩන් , නෝර්වීජියන් සහ ඩෙනිෂ් භාෂා බවට පත් වූයේ ඒවාය. අද එම භාෂා කතා කරන ආකාරය අනුව ඒවා තවමත් බොහෝ සෙයින් එක සමාන වන අතර ස්වීඩන් , නෝර්වීජියන් සහ ඩෙන්මාර්ක් ජාතිකයන්ට ඔවුනොවුන් පවසන දේ සෑහෙන තරම් හොඳින් තේරුම් ගැනීමට පුළුවන.

ස්කැන්ඩිනේවියානුවන් දිගු කලක් තිස්සේ දිවි ගෙව්වේ ක්‍රියාත්මක ජනතාවක් වශයෙන් මිස සාහිත්‍යාත්මක හෝ කලාත්මක හෝ ජනතාවක් වශයෙන් නොවේ. ඔවුන් වටා තිබුණු එකම දෙය වන සාගරය වූකලී භාග්‍යය සහ වික්‍රමය සොයා යනු පිණිස ඔවුන්ට ඇරියුම් කරන්නක් වූ අතර දැඩි වූත් රළු වූත් ගොඩබිම අරගලයකින් තොරව ජයගත නොහැක්කක් විය. ස්aකැන්ඩිනේවියානු සාහිත්‍යය තරමක් ප්‍රමාද වී ආරම්භ වූයේ එහෙයිනි. ස්කැන්ඩිනේවියානු ලේඛකයන් විශ්ව කීර්තියට පත් වූයේ මෑත කලක් තුළ පමණි.


පැරණි වීර අවධිය පිළිබඳ කතා

පැරණිම වැදගත් කෘතීන් වශයෙන් ඇත්තේ එඩ්ඩාස් ( Eddas) නමින් දන්නා අයිස්ලන්ත සාහිත්‍ය සංග්‍රහ දෙකකි. වැඩිමලා වන පද්‍යමය එඩ්ඩාව රචිත කාලය අඥාතය. එහෙත් කෘතිය ගැන දැනගෙන ඇත්තේ 1643 පමණ සිටය. බාලයා වන ගද්‍යමය එඩ්ඩාව ශ්‍රේෂ්ඨ අයිස්ලන්ත කිවිවර ස්නෝරි
ස්ටර්ලසන් (Snorri Sturluson - 1178 - 1241) විසින් රචිතය. සෑම එඩ්ඩාවක් මගින්ම කියවෙන්නේ මුල් අවදියේ විසූ ස්කැන්ඩිනේවියානුවන්ගේ දේව කතා හා වීර කතාය. උතුරු දේව කතා සාහිත්‍යයට අයත් ඔඩින් සහ තෝර් (Odin - Thor) මෙන්ම වෙනත් දෙවියන් පිළිබඳ කතාවන්ගේද මුල එතැනය. අයිස්ලන්ත පුරාණ කතාද පාරම්පරිකව මෙයට එක් වී ඇත. පැරණි වයිකිං අවධියට අයත් මෙම කතා මුලින්ම කියන ලද්දේ තැනින් තැනට සංචාරය කළ කතාකරුවන් විසිනි. අතරින් පතර පිවිසි පද්‍ය කොටස් සහිත මේවා ගද්‍යමය කතාය.

ස්කැන්ඩිනේවියානු සාහිත්‍යයේ නූතන යුගය සැබවින්ම ආරම්භ වූයේ 18 වන ශත වර්ෂයේදීය. 'උතුරේ මොලියර්' නමින් දන්නා ඩෙනිෂ් - ස්කැන්ඩිනේවියානු නාට්‍යකාර ලුඩ්විග් හෝල්බර්ග් (Ludwig Holberg - 1684 - 1754) සහ ස්වීඩන් ජාතික අද්භූත වාදී (Romantic) කවිකාර එසායියා ටෙග්නර් (Esaias Tegner - 1782 - 1846) තම දේශයන්හි කැපී පෙනෙන පුද්ගලයෝ වූහ. එහෙත් විස්මයජනක සුරාංගනා කතාකාර ඩෙන්මාර්කයේ හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ම විශ්ව කීර්තියට පත් ප්‍රථමයා විය.


ශ්‍රේෂ්ඨ ලේඛක පෙළක්

සුරාංගනා ලෝකය කෙබඳුද යන්න ඇන්ඩර්සන් පෙන්වා දුන්නේය. 19 වන ශතවර්ෂයේ පසු කොටසට අයත් අනෙක් ශ්‍රේෂ්ඨ ස්කැන්ඩිනේවියානු ලේඛකයෝ යථාර්ථ ලෝකය චිත්‍රණය කළහ. ජීවන ගැටලු හාරා පාරා බැලූහ. බියෝර්න්ස්ටේනේ බියෝර්න්සෙන් (Bjornstjerne Bjornson) සහ හෙන්රික් ඉබ්සන් (Henrik Ibson) යන ශ්‍රේෂ්ඨ නෝර්වීජියානු ලේඛකයෝ දෙදෙනා මේ යුගයට අයත් වෙති. බියෝන්ස්ටේනේ බියෝර්න්සෙන් නවකතාකරුවෙකු මෙන්ම නාට්‍යකාරයෙක්ද විය.

ස්කැන්ඩිනේවියානු නාට්‍යකරුවන් අතරින් ශ්‍රේෂ්ඨතමයා වන ඉබ්සන් තම ජීවිත කාලය තුළ මුළු මහත් ලෝක සාහිත්‍යය කෙරෙහි වැඩි වශයෙන් බල පෑ ලේඛකයා ලෙස සැලකේ.

හෙන්රික් ඉබ්සන් මෙන්ම බියෝර්න්ස්ටේනේ බියෝර්න්සෙන්ද
සැලකෙන්නේ නූතන නෝර්වීජියානු සාහිත්‍යයේ පිතෘවරයෙකු වශයෙනි. උතුරු කඳුකර පෙදෙසේ 1832 අවුරුද්දේ උපත ලද ඔහු ක්‍රිස්ටියානා විශ්වවිද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලද අතර ඉන්පසු නොබෝ කලකින්ම නාට්‍යකරුවෙකු විචාරකයෙකු කවියෙකු නවකතාකරුවෙකු මෙන්ම සුචරිත හා දේශපාලන නායකයෙකු වශයෙන්ද කීර්තිමත් දිවිපෙවෙතක් ඇරඹීය.

1903 අවුරුද්දේ ඔහුට නොබෙල් ත්‍යාගය හිමි විය. එම ත්‍යාගය ලද තෙවැන්නා ඔහුය. නොබෙල් ත්‍යාගය ලද ව්ලැඩිස්ලෝ රේමෝං සහ ග්‍රේසියා ඩෙලෙඩ්ඩා නමැති කතාකරුවන් මෙන්ම බියෝර්න්ස්ටේනේ බියෝර්න්සෙන්ද උත්සාහ ගත්තේ තම පාඨකයන් වෙත ගොවි ජීවිතය ඉදිරිපත් කිරීමටය. තම ජාතිය සත්‍ය ලෙස පිළිබිඹු කොට දැක්විය හැක්කේ ගොවි ජීවිතය මගිනැයි ඔහු විශ්වාස කළ හෙයිනි. තමා විසින් නිරූපිත දුෂ්කර ජීවිතයේ යථා ස්වභාවය ඔහු සරල වූද සෘජු වූද ලක්ෂණයෙන් යුත් තම කෙටිකතා මගින් පාඨකයා වෙත ගෙන ආවේය.

ඔහුගේ ක්ෂුද්‍ර ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන පහත දැක්වෙන කතාව 1881 අවුරුද්දේ පළවුණකි. වචන කීපයකින් ප්‍රබල භාව කම්පනයක් ඇති කිරීමෙහි ලා ඔහු තුළ පැවති ශක්තිය කෙබඳුද යන්න එමගින් මොනවට හෙළිවෙයි. 1910 අවුරුද්දේ ඔහු පැරීසියේදී මිය ගිය කල ඔහුගේ දේහය යළි නෝර්වේ රටට ගෙන ආවේ රාජ්‍ය ගෞරව සහිතවය.

The Father නමින් R.B.Anderson විසින් ඉංග්‍රීසි බසට නගන ලද බියෝර්න්ස්ටේනේ බියෝර්න්සෙන්ගේ එම කෙටි කතාවේ මගේ සිංහල පරිවර්තනයයි මේ.


තාත්තා

මේ කියන කතාවට සම්බන්ධ මිනිහා ඔහු පදිංචි වෙලා උන්න මීසමේ ලොකුම පෝසතා. ලොකුම බලවතා. ඔහුගෙ නම තෝර්ඩ් ඕවරාස්. දවසක් ඔහු දේවගැති තුමාගෙ කන්තෝරු කාමරයෙ පෙනී හිටියා. උස ශරීරයක් තිබුණු ඔහු මොකක්දෝ ලොකු උනන්දු ගතියකින් ඉන්න බව පෙනුණා.

"මට පුතෙක් හම්බ වුණා පියතුමෝ. මට ඒ දරුවා බව්තීස්ම කරගන්න ඕනැ."

ඔහු කිව්වා.

"මොකක්ද ඔහේගෙ පුතාට දාන නම?"

"ෆින්. අපේ තාත්තගෙ නමම ඒ දරුවටත් දානව."

"කවුද එයාගෙ ඇප කාරයො?"

ඔවුන්ගෙ නම් කියවුණා. ඔවුන් ඒ ප්‍රදේශයෙ හිටිය තෝර්ඩ්ගෙ නෑයන්ගෙන් හොඳම මිනිසුන් හා ගැහැනුන් බව ඔප්පු කෙරුණා.

"තව මොකුත් හෙම කියන්න තියෙනවද?"

තෝර්ඩ්ගෙන් ඇහුව දේවගැති තුමා ඔළුව උස්සල බැලුවා. ගොවියා ටිකක් පැකිළුණා.

"මං හුඟක් කැමතියි පියතුමෝ මගෙ පුතා විතරක් තනියම බව්තීස්ම කරගන්න පුළුවන් නං."

ඔහු අන්තිමට කිව්වා.

"ඒ කියන්නෙ සුමානෙ දවසකද?"

" පුළුවන් නං ඊළඟ සෙනසුරාදා දවල්

දොළහට."

"තවත් මොකුත් කියන්න

තියෙනවද?"

දේවගැති තුමා ඇහුවා.

"වෙන මොකුත් නෑ පියතුමෝ."

ගොවියා යන්න සූදානම් වෙලා වගේ තොප්පිය කැරකෙව්වා. එවේලෙ දේව ගැති තුමා නැගිට්ටා.

"කොහොම උණත් තෝර්ඩ් එකක් හිතන්න ඕනැ."

තෝර්ඩ්ට එහෙම කිව්ව දේවගැති තුමා ඔහු ළඟට ගිහිං ඔහුගෙ අත අල්ලගෙන ඔහුගෙ දෑස් දිහා ගැඹුරු විදිහට බැලුවා.

"දෙවියන් වහන්සෙ දුන්නු ඒ දරුවා ඔහේට ආශීර්වාදයක් වෙන බව හිතන්න ඕනැ."

අවුරුදු දාසයකට පස්සෙ දවසක් තෝර්ඩ් දේවගැති තුමාගෙ කන්තෝරු කාමරයට ඇවිත් හිටගත්තා.

"ඔහෙ බොහොම සනීපෙන් ඉන්නව තෝර්ඩ්."

මිනිහගෙ කිසි වෙනසක් නොදැක්ක දේවගැති තුමා කිව්වා.

"මට කිසිම කරදරයක් නෑ පියතුමෝ."

තෝර්ඩ් උත්තර දුන්නා. දේවගැති තුමා මොකුත් කිව්වෙ නෑ. ඒත් ටික වෙලාවකට පස්සෙ මෙහෙම ඇහුවා.

"අද හැන්දෑවෙ මොකක්ද ඔහේගෙ සතුට?"

"හෙටනෙ පියතුමෝ මගෙ පුතාට අභිවෘද්ධි ආලේප කරන දවස. මං මේ තකහනියක් ආවෙ ඒ ගැන කතා කරගන්නයි."

"එයා බොහොම හොඳ අනාගතයක් ඇති දරුවෙක්."

"හෙට මගෙ පුතාට පල්ලියෙදි හම්බවෙන්නෙ කීවෙනි නොම්බරේද කියල දැනගන්නකං මං කැමති වුණේ නෑ ස්වාමිගෙ ගාස්තුව ගෙවන්න."

"එයාට පළමුවෙනි නොම්මරේම ලැබේවි."

"මටත් එහෙම අහන්න ලැබුණා පියතුමෝ. මෙන්න ස්වාමිගෙ ගාස්තුව හැටියට ඩොලර් දහයක්."

"තවත් මගෙන් කෙරෙන්න ඕනැ දෙයක් එහෙම තියෙනවද තෝර්ඩ්?"

"තෝර්ඩ් දිහා බලාගත්වනම හිටි දේවගැති තුමා විමසුවා.

"වෙන මොකුත් නෑ පියතුමෝ."

තෝර්ඩ් යන්න ගියා.

තවත් අවුරුදු අටක් ගෙවිල ගියා. එක දවසක් දේවගැති තුමාගෙ කන්තෝරු කාමරයෙ පිට පැත්තෙන් මොකක්දෝ සද්දයක් ඇහුණා. මිනිසුන් රංචුවක් එතනට එමින් හිටියා. ඔවුන් ඉස්සරහින්ම හිටිය තෝර්ඩ්.තමයි මුලින්ම කාමරයට ඇතුළු වුණේ. හිස උස්සා බැලුව

දේවගැති තුමා ඔහු අඳුනගත්තා.

. "අද හැන්දෑවෙ පිරිවරකුත් එක්ක?" :

දේවගැති තුමා පැවසුවා.

"මං ආවෙ පියතුමෝ මගෙ පුතා⁣ගෙ මංගල්ලෙ පෙරනම්ප්‍රකාශය කරගන්නයි. මේ මං ගාව හිටගෙන ඉන්න ගඩ්මන්ගෙ දුව කැරෙන් ස්ටෝර්ලිඩෙන් තමයි මගෙ පුතා කසාද බඳින්න යන්නෙ."

"කොච්චර හොඳද.එයා තමයි මේ මීසමේ ඉන්න පෝසත්ම ගෑනු ළමයා." "හැමෝම එහෙම කියනව පියතුමෝ."

එක අතකින් තමන්ගෙ හිසකෙස් පිටි පස්සට අතගාමින් ගොවියා උත්තර දුන්නා. දේවගැති තුමා ගැඹුරු කල්පනාවක ගිලී ගියා වගේ ටික වෙලාවක් ඉඳගෙන උන්නා. ඊට පස්සේ ඔහු මොකුත් නොකියාම ඔහුගෙ පොතේ නම් ලිව්වා. මිනිසුන් ඊට පාතින් අත්සන් කළා. ඩොලර් තුනක් මේසය උඩ තිබ්බා.

"මට ගන්න අයිතිය තියෙන්නෙ ඩොලර් එකයි තෝර්ඩ්."

දේවගැති තුමා කිව්වා.

"මං ඒක හොඳට දන්නව පියතුමෝ. ඒත් මේ මගෙ එකම දරුවා. මට එයාගෙ වැඩේ ලස්සනට කරගන්න ඕනැ."

දේවගැති තුමා සල්ලි අරගත්තා. "තෝර්ඩ් , ඔහෙ පුතා වෙනුවෙන් මෙහාට ආව තුන් වෙනි වතාව මේ." "දැන් ඉතින් පියතුමෝ මගෙන් එයාට කෙරෙන්න තිබිච්ච කටයුතු සියල්ල සම්පූර්ණයි."

එහෙම කියාපු තෝර්ඩ් ඔහුගෙ පොත් පිංච වහලා දේවගැති තුමාගෙන් සමු අරන් යන්න ගියා.

මිනිසුන් හෙමින් ඔහු පස්සෙන් ගියා. සුමාන දෙකකට පස්සෙ තාත්තයි පුතයි එක ශාන්ත නිශ්චල දවසක මංගල්ලෙ කටයුතු පිළියෙල කරගන්ඩ හිතාගෙන වැව හරහා ඔරුවකින් ස්ටෝර්ලිඩෙන්ලගෙ දිහාවෙ යමින් උන්නා.

"මං ඉඳගෙන ඉන්න ලෑල්ල තියෙන්නෙ අඩමානෙ.."

එහෙම කිව්ව පුතා ඔහු ඉඳගෙන උන්නු ලෑල්ල කෙළින් කරගන්න හිටගත්තා. ඒ එක්කම ඔහු හිටගෙන උන්නු ලෑල්ල ලිස්සල ගියා. අත් දෙක උඩට උස්සගෙනම ඔහු යටිගිරියෙන් කෑගහගෙන වැවට වැටුණා.

"හබල අල්ලගනින් පුතේ."

ගැස්සී නැගිට්ට තාත්තා හබල දික් කරමින් කෑ ගැහුවා. දෙපාරක්ම හබල අල්ලගන්න උත්සාහ කළාට පස්සෙ පුතාගෙ අතපය දරදඬු වෙන්න පටන් ගත්තා.

"පොඩ්ඩක් හිටින් පුතේ."

එහෙම කෑගහපු තාත්තා පුතා ගිලෙන දිහාවට ඔරුව පදින්න උණා. එතකොටම වගේ උඩු අතට පෙරඵණු පුතා තාත්තා දිහා බලාගත් ගමන් ඉඳලා දියේ ගිලුණා. තෝ‍ර්ඩ්ට ඒක විශ්වාස කරගන්න බැරි වුණා. ඔහු ඔරුව නවත්තගෙන පුතා ගිලුණ තැන දිහා ඇස් ලොකු කරගෙන බලා උන්නෙ ඔහු තවත් සැරයක් ස්ථිරවම වතුරෙන් උඩට ඒවි කියන විශ්වාසයෙන් වගෙයි. එවෙලෙ

එතනින් බුබුළු වගයක් උඩට ආවා. ඊට පස්සෙ තව බුබුළු වගයක්. අන්තිමට එතනින් විශාල බුබුළක් උඩට ඇවිත් බිඳිල ගියා. ඊට පස්සෙ වැව ආයෙත් කන්නඩියක් වගේ

සිනිඳුව පැහැදිලිව පෙනුණා.

ඇහැට නින්දක් නැති, බඩට කෑමක් නැති තාත්තා පුතා ගිලුණ තැන වටේ නොනැවතීම ඔරුව පදින හැටි දවල් තුනක් හා රෑ තුනක් තිස්සෙ මිනිසුන් බලා හිටියා. ඔහු වැව් පත්‍ල බිලි කොක්කකින් පීරමින් පුතාගෙ මිනිය හොය හොයා වෙහෙසුණා. තුන්වෙනි දවසෙ උදේ හරියෙ මිනිය හොයාගත්තා. ඔහු ඒක තමන්ගෙම දෑතින් උස්සගෙන කඳූ උඩින් ඔහුගෙ වත්තට අරන් ගියා.

ඒක සිද්ධ වෙලා අවුරුද්දක් විතර ගතවෙන්න ඇති. සරත් කාලෙ එක හැන්දෑවක් ගෙවීගෙන යන වෙලාවෙ කවුරු හරි දොරෙන් පිට පැත්තෙ පැසේජයෙ ඉඳන් බොහොම පරිස්සමෙන් අගුල හොයන හඬ

දේවගැති තුමාට ඇහුණා. ඔහු දොර ඇරියා.

සුදු වුණු කෙස් හා කුදු වුණු සිරුරක් ඇති උස හීන්දෑරි මිනිහෙක් ඇතුළට ආවා. දේවගැති තුමා හුඟ වෙලාවක් ඔහු දිහා බලන් හිටියට පස්සෙයි ඔහු ඇඳින්නෙ.ඒ තෝර්ඩ්.

"මොකද ඔහේ මෙච්චර පරක්කු වෙලා?"

දේවගැති තුමා මෙහෙම කියල තෝර්ඩ් ඉස්සරහ නිශ්චලව හිටගෙන උන්නා.

"ඔව් පියතුමෝ පරක්කු වුණා තමයි."

එහෙම කියාපු තෝර්ඩ් වාඩි උණා. දේවගැති තුමාත් මොකක් හරි දෙයක් බලාපොරොත්තුවෙන් වගේ වාඩි උණා . ඊට පස්සෙ ඇති වුණේ දිග නිශ්ශබ්දතාවක්. අන්තිමට තෝර්ඩ් මෙහෙම කිව්වා.

"මං අද දුප්පතුන්ට දෙන්න දෙයක් ගෙනාවා. මට ඕනැ ඒක මගෙ පුතාගෙ නමින් දෙන්න. නැගිට්ට තෝර්ඩ් සල්ලි වගයක් මේසය උඩ තියලා ආපහු වාඩි උණා . දේවගැති තුමා ඒවා ගැණ බැලුවා.

" මේක විශාල මුදලක්."

ඔහු පැවසුවා.

"මේ මගෙ වත්තෙ මිලෙන් බාගයක් පියතුමෝ. මං අද ඒක වික්කා."

දේවගැති තුමා හුඟ වෙලාවක් නිශ්ශබ්දව වාඩිවෙලා උන්නා. අන්තිමට බොහොම මොළොක් හඬින් මෙහෙම ඇහුවා.

"දැන් මොකක් කරන්න කියලද ඔහේ යෝජනා කරන්නෙ තෝර්ඩ්?"

" වඩා හොඳ දෙයක්.".

බිමට හැරවුණු දෑසින් යුත් තෝර්ඩ් සහ ඔහු දෙසට යොමු වුණු දෑසින් යුත් දේවගැති තුමා යන දෙදෙනාම ටික වෙලාවක් වාඩිවෙලා උන්නා. මොහොතකින් දේවගැතිතුමා හෙමිනුත් මුදු ලෙසිනුත් මෙහෙම කිව්වා .

"මං හිතන්නෙ තෝ‍ර්ඩ් ඔහෙගෙ පුතා අන්තිමේදී ඔහෙට නියම ආශීර්වාදයක් ලබා දුන්නය කියලා." "ඔව් පියතුමෝ මාත් එහෙම හිතනවා".

තම කම්මුල් දෙකේ ලොකු කඳුළු කැට දෙකක් හෙමින් පහළට රූරා වැටෙද්දි හිස උස්සා බලමින් කිව්වා.



අදහස් (0)

ස්කැන්ඩිනේවියානු සාහිත්‍යය සහ සාහිත්‍ය නිර්මාණ (1)

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site