IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ලෙනින් සහ දොස්තොයෙව්ස්කි

මතක හා මතය

 

 

සෝවියට් සමූහාණ්ඩුවේ නිර්මාතෘවර  ව්ලැඩිමීර් ඉලිච් ලෙනින්ගේ  විප්ලවවාදය ගැන බහුලව කතා වෙතත් ඔහුගේ සාහිත්‍ය ප්‍රේමය හා විචාර චින්තනය ගැන සාකච්ඡා වන අවස්ථා අතිදුර්ලභය. ලෙනින් නමැති විප්ලවවාදී රාජ්‍ය නායකයා ඉතා කුලුපගව ඇසුරු කළ ඔහුගේ විප්ලව වාදී සමකාලිකයෙක් වූ  ජී.එම්. 

ෂිහිස්හනොව්කිස්ගේ සුහද අත්දැකීම් සහිත මේ විවරණය මගින්  ලෙනින් නමැති ඒ විප්ලව වාදී රාජ්‍ය නායකයා සතුව පැවති අර අප්‍රකට සාහිත්‍ය ආකල්පය හා  අගතියෙන් තොර පරිණත විචාර චින්තනය මොනවට ප්‍රකට වෙයි. ෂිහිස්හනොව්ස්කි (1872 - 1959) 1903 පටන් බොල්ෂෙවික් වාදියෙකි. විද්‍යාඥයෙකි. විද්‍යා ඇකඩමියේ  සාමාජිකයෙකි. මේ ඔහුගේ වදන්ය.
   "මහජන කොමිසාර්වරුන්ගේ සභා මන්දිරයේ කුඩා පුස්තකාලයක් ඇරඹිය යුතු බැව් ව්ලැඩ්මීර් ඉලිච්ට කී වේලේ ඔහු ඊට ඇතුළත් කළ යුතු පොත් කීපයක කතුවරයන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළේය. එය මෙසේය.
   " පුෂ්කින් , ලර්මන්තෝෆ් , ගොගොල් , ගොන්චරොෆ් , 
දොස්තොයෙව්ස්කි , මේකෝ්ෆ් ,   නෙක්රසෝෆ් , ලෙස්කෝෆ් , ලියෝ නිකොලාවිච් තෝල්ස්තෝයි , ග්‍රිබොයෙඩෝෆ් , ග්ලෙබ් උස්පෙන්ස්කි , එස්.ටී. අක්සකෝෆ් සොල්ටිකෝෆ් ෂෙඩ්රින් , ලෙවි⁣ටෝෆ් ,  කොල්ටිසෝෆ් , ටියුට්චෙෆ් ග්‍රිගොරෝවිච් , ටර්ගිනිෆ් ,
පොම්යලොව්ස්කි , ෆෙට් ,   අපුක්හ්ටින් , ඒ.කේ.තෝල්ස්තෝයි ,  චෙකෝෆ් , ස්ලැටෝව්රැස්කි , කොස්මා , පෘට්කෝෆ් , නැඩ්සන් ,  ඩොබ්රෝලියුබෝෆ්...
   "මහජන කොමිසාර්වරුන්ගේ සභාවේ ලෙනින්ගේ කාර්යාලයේ ඔහු වැඩ කරන මේසය අසල වූ පොත් රාක්කයක ටියුට්චෙෆ්ගේ කුඩා පොතක් දක්නට තිබුණි. නොයෙක් විට එය ලෙනින්ගේ මේසය මතම විය. ඔහු ටියුට්චෙෆ්ගේ කවි නැවත නැවත විග්‍රහ කරමින් කියෙව්වේය.

  "දොස්තොයෙව්ස්කිගේ 'යක්ෂාරූඪ වූ තැනැත්තා' නමැති නවකතාව නාටකයක් වශයෙන් ඉදිරිපත් වුණු අවස්ථාව නිමිති කොට වරක් ධනවාදී පුවත්පත් විසින් ප්‍රතිගාමී පන්දම් පාලියක් අරඹන ලදී. එහිදී ඊට විරුද්ධව නැගී සිටි මැක්සිම් ගෝර්කිට ලෙනින් තම සහයෝගය දැක්වීය. දොස්තොයෙව්ස්කිගේ කෘතීන් තුළ වූ ප්‍රතිගාමී නැඹුරු වීම් ලෙනින්ගේ නිර්දය ප්‍රහාරයට ලක් විය. විනිචෙන්කෝගේ  'පාදිරිවරුන්ගේ තෙස්තමේන්තු' නමැති පිරිහුණු අපකීර්තිමත් නවකතාව තියුණු ලෙස විවේචනය කළ ලෙනින් එහි ප්‍රධාන දෝෂය හැඳින්වූයේ මෙසේය.
   'එය වූකලී දොස්තොයෙව්ස්කි සතු නරකම අංගවල වඩාත් නරක අනුකරණයක්.'
   "ලෙනින් මෙම විවේචනය කළේ ඉනෙසා ආමන්ඩ් [1875 -1920 - ලෙනින්ට අතිශය හිතෛෂී ප්‍රංශ 
ජාතික විප්ලව වාදී බුද්ධිමතියකි.] වෙත යවන ලද ලිපියක් මගිනි. 
  "කෙසේ වුවද දොස්තොයෙව්ස්කි 
 වූකලී සුවිශේෂ වූ සහජ බුද්ධියක් සතු ලේඛකයෙකු බව ලෙනින් හැම විටම අවධාරණයෙන් ප්‍රකාශ කළේය. සමකාලීන සමාජයේ දුෂ්ටත්වය තියුණු ලෙස නිරීක්ෂණය කළ දොස්තොයෙව්ස්කි  තුළ ප්‍රතිවිරෝධතාවන් හා ප්‍රමාදයන් රාශියක් පැවති නමුත් යථාර්ථය පිළිබඳ විවිධ වූත් විචිත්‍ර වූත් කල්පනා රූප මැවීමෙහිලා ඔහු විශිෂ්ට ශූරත්වයක් දැක්වූ බැව් ලෙනින්ගේ  මතය විය.
   "දොස්තොයෙව්ස්කිගේ 'යක්ෂාරූඪ වූ තැනැත්තා' නමැති නවකතාව ලෙනින් ප්‍රතික්ෂේප කළ නමුත් ඔහු එහි නිරූපිත සිද්ධි තම සැලකිල්ලට ලක් කළේය. එම සිද්ධි නෙචයේෆ්ගේ ක්‍රියාවන්ට පමණක් නොව  බකුනින් [ M.A.බකුනින් (1814-1876) අරාජික වාදයේ ආදි කර්තෘවරයා.] ගේ ක්‍රියාවන්ටත් සම්බන්ධකම් දක්වන බැව් ලෙනින් ප්‍රකාශ කර සිටියේය.

දොස්තොයෙව්ස්කි  'යක්ෂාරූඪ වූ තැනැත්තා' නම් නවකතාව ලිවීමෙහි නිරත වී සිටියදී මාක්ස් හා එංගල්ස් බකුනින්ට විරුද්ධව ප්‍රබල අරගලයක් මෙහෙයවමින් උන්හ. එම නවකතාවෙහි බකුනින්ට හා නෙචයේෆ්ට සම්බන්ධකම් දක්වා සිටින තැන් විග්‍රහ කිරීම විචාරකයන් සතු කාර්යක් විය.
  "සමස්තයක් වශයෙන් ගත් කල එක් දෙයක් හොඳින් පැහැදිලි වෙයි. එනම් ව්ලැඩිමීර් ඉලිච් දොස්තොයෙව්ස්කි ගේ සහජ ශක්තිය උසස් ලෙස අගය කළ බවයි. දොස්තොයෙව්ස්කි ගැන සඳහන් කළ ලෙනින් මෙසේ පැවසීමට පුරුදුව සිටියේය
   'දොස්තොයෙව්ස්කි මරණයට තීන්දු කර සිටි කෙනෙක්. ඒ වගේම ඔහු ම්ලේච්ඡ ලෙස පහත් අඩියකට පත් කෙරුණා. ඒ බව අපි අමතක නොකළ යුතුයි. පස්සේ දැනුම් දුන්නා පළමුවන නිකලස් ඔහුට අනුකම්පා කොට මරණ දඬුවම වෙනුවට බරපතළ  වැඩ ඇති සිර දඬුවමක් නියම කළාය කියා.'
  "දොස්තොයෙව්ස්කිගේ 'මළවුන්ගේ ගෙයක සටහන්' නමැති නවකතාව ගැන ව්ලැඩිමීර්  ඉලිච් ලෙනින් වරක් මෙසේ ප්‍රකාශ කළේය.
   'එය රුසියානු සාහිත්‍යයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද අසහාය ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැක. මක්නිසාද යත් එය සයිබීරියානු වධ කඳවුර ගැන පමණක් නොව  රොම්නෝෆ් වරුන්ගේ මන්දිරයේ සිටි සාර්ලා යටතේ මුළු මහත් රුසියානු ජනතාවම දිවි ගෙවූ මළවුන්ගේ ගෙය ගැනද කදිම විස්තරයක් ඉදිරිපත් කරන හෙයිනි.'

 "ව්ලැඩිමීර් ඉලිච් ඉතාමත් සාවධානව නරෝද්නිකයන්ට අයත් සාහිත්‍යය හැදෑරීය. නරෝද්නිකයන්ගේ ප්‍රතිපත්ති දරුණු  ලෙස විවේචනය කරමින්
 මිකහායිලොව්ස්කි , වී. වොරොන්ට්සෝෆ්  සහ නරෝද්නික ව්‍යාපාරයට [නරෝද්නික වාදය , ජනප්‍රිය වාදය 19 වන සියවසේ රුසියානු විප්ලව වාදී ව්‍යාපාරයේ පැවති ප්‍රධාන ප්‍රවණතාව] අයත්   සෙසු න්‍යායාචාර්යවරුන්ට එරෙහිව  මාරාන්තික සටනක් කළද ඔහු ග්ලෙබ් උස්පෙන්ස්කි  වැනි ලේඛකයන්ගේ වැදගත්කම ඉතා ඉහළින් පිළිගති. කම්කරුවන්ගේ හා දිළිදු ගොවියන්ගේ ජීවිතය පිළිබිඹු කරන උස්පෙන්ස්කිගේ කතා ලෙනින්ගේ සිත තදින්ම ඇද ගැනීමෙහි සමත් විය. එසේම එවැනි කතා මහජනතාවට සමීප කළ යුතු බවත් ඒවා හැකි තරම් පුළුල් ලෙස ව්‍යාප්ත කළ යුතු බවත් ඔහු අවධාරණයෙන් ප්‍රකාශ කළේය."



අදහස් (0)

ලෙනින් සහ දොස්තොයෙව්ස්කි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1899 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site