IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගුවන්විදුලි නාට්‍ය පුරා වත (2)

මතක හා මතය

 

ලංකා ගුවන්විදුලි ප්‍රචාරය ආරම්භ වීමෙන් අනතුරුව මෙරට අසන්නන්ගේ ආස්වාදය අරබයා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි ආයතනයෙන් (B.B.C) ලබාගත් කෙටි නාට්‍ය මේ නව ශ්‍රව්‍ය මාධ්‍යය ඔස්සේ විකාශනය කිරීමට එහි බලධාරීහු උත්සුක වූහ. මෙරට ගුවන්විදුලි නාට්‍යයේ ප්‍රථම ප්‍රසූතිය එය ලෙස සැලකිය හැකිය 1927 වසරේ මුල භාගයේ ගෙන්වූ එම බීබීසී නාට්‍ය ලංකාගුවන් විදුලිය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද්දේ ලංකා ආධුනික නාට්‍ය සමාජයේ (Ceylon Amateur Dramatic Society) නායක ජේ.එස්.එම්.පැටර්සන් මහතා විසිනි. එම නාට්‍ය හැඳින්වුණේ වයර්ලස් නාට්‍ය (Wireless Drama) යන නමිනි.

අභිනව ලංකා ගුවන්විදුලිය මුල් අවධියේ සිටම කොටස් වශයෙන් ඉදිරිපත් කෙරෙන නාට්‍ය ප්‍රචාරය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වා ඇති බව පෙනේ. එකල වූ අසන්නන් ඒ ගණයේ නාට්‍ය ඇසීමට දැක්වූ අභිරුචිය එම උනන්දුව දැල්වීමෙහිලා ප්‍රබල අනුබලයක් වන්නට ඇත.

පැටර්සන් මහතා වනාහි ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය ආරම්භ වුණ මුල් යුගයේ සිටම උසස් නාට්‍ය රාශියක් ඉදිරිපත් කළ ජනප්‍රිය නිෂ්පාදකයෙකි. එකල ඔහු විසින් නිෂ්පාදනය කොට ඉදිරිපත් කරන ලද The Adventures of Alonza Mactevish (ඇලොන්සා

මැක්ටවිෂ්ගේ වික්‍රම) නමැති රහස් පරීක්ෂක නාට්‍යය කොටස් වශයෙන් ප්‍රචාරය වූවකි. එය ගුවනින් ඉදිරිපත් කිරීමේදී ඔහුට සහාය වූයේ ඔහුගේ මිතුරු පිරිසය. ලංකා ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ මුල්ම රහස් පරීක්ෂක නාට්‍යය එය විය හැකිය.

පීටර් බැට්න් (Peter Batten) මහතාද ගුවන්විදුලි මුල් යුගයේ සිටි ශූර වයර්ලස් නාට්‍ය නිෂ්පාදකයෙකි.

The Prisoner Of Zenda (සෙන්ඩාවේ සිරකරුවා) නමැති කොටස් වශයෙන් ඉදිරිපත් කළ නාට්‍යය ඔහුගේ නිෂ්පාදනයකි. ඔහුට ඊට සහාය වී ඇත්තේ ඔහුගේම වයර්ලස් නාට්‍ය ශිල්පී පිරිසය.

ජේම්ස් හිල්ටන් (James Hilton) ගේ 'ලොස්ට් හොරයිසන්' (LostHorizon) නම් නවකතාව පාදක කරගෙන එම නමින්ම කොටස් වශයෙන් ඉදිරිපත් කළ වයර්ලස් නාට්‍යයේ පළමු කොටස ලංකා ගුවන්විදුලියෙන් ප්‍රචාරය වී ඇත්තේ 1942 අගෝස්තු 23 වන ඉරිදා රාත්‍රී 8.45 ටය. චිත්‍රපටයටද නගා තිබුණු එම නවකතාවේ මෙම වයර්ලස් නාට්‍ය අනුවර්තනය දේවාර් සූර්යසේන සහ හෝවර්ඩ් ජෝන්ස් (Howard Jones) දෙදෙනාගේ හවුල් නිෂ්පාදනයකි. මෙහි ප්‍රධාන චරිතය දේවාර් සූර්යසේනයන් විසින් නිරූපිතය. සූර්යසේනයෝ

'ලොස්ට් හොරයිසන්' නවකතාවේ මුල් බ්‍රිතාන්‍ය ගුවන්විදුලි (B.B.C) නිෂ්පාදනයේ මෙන්ම නිව්යෝර්ක් නිෂ්පාදනයේද ප්‍රධාන චරිතයක් රඟ පෑ හඬ නළුවෙකි.

'ලොස්ට් හොරයිසන්' ලංකා ගුවන්විදුලි නිෂ්පාදනයේ රඟ පෑ හඬ නළුවෝය මේ.

නෙලුම් දේවී (සූර්යසේනයන්ගේ බිරිඳ) ; B.G. Thornley ; Anthony Warner ; D.M.Arnes ; Elenche Spencer Shepperd ; Direk Pelham ; Howard Jones.

භාරත කවීන්ද්‍ර රබීන්ද්‍රනාථ ඨකූරයන් විසින් රචිත 'මාලිනී' නම් දෘශ්‍ය කාව්‍යයෙහි 1 අංකය හා 2 අංකය පාදක කොටගෙන නිෂ්පාදිත වයර්ලස් නාට්‍යයකට සවන් දීමට මුල් අවධියේ විසූ ගුවන්විදුලි අසන්නන්ට අවස්ථාව උදාව ඇත. මුල් දෘශ්‍ය කාව්‍යයෙහි එන අංක අතරින් මේ වයර්ලස් නාට්‍ය නිෂ්පාදනය සඳහා තෝරාගෙන ඇත්තේ වීදිය දෙසට පිහිටි රජ මාලිගා සඳලු තලය දිස්වන 1 අංකයත් මඟුල් උයන ඇස ගැසෙන 2 අංකයත් පමණි.

මුල් නාට්‍යයට අයත් නාට්‍යමය අවස්ථා මෙන්ම එහි අන්තර් ගත රමණීය පද්‍ය පාද රාශියක්ද වයර්ලස් නාට්‍ය අනුවර්තනයට ඇතුළුව ඇත. එය ප්‍රචාරය වී ඇත්තේ දෙවන ලෝක සංග්‍රාමයේ සටන් විරාම දිනයේය.

'මාලිනී' දෘශ්‍ය කාව්‍යයේ වයර්ලස් නිෂ්පාදනයේ හඬ රංගනයෙහි යෙදුණු නළු නිළි පිරිසය මේ.

දේවාර් සූර්යසේන ; නෙලුම් දේවි ; ලෙනාර්ඩ් පීරිස් ; ශීලා ද සොයිසා ; නෙවිල් විජේකෝන් ; ඊ.සී.බී. විජේසිංහ ; සිසිල් ද සොයිසා ; ජෙරාල්ඩ් කුරේ ; ලයනල් ගුණසේකර ; ලක්ෂ්මන් ද මැල් ; ඩෙනිස් කුරේ ; ක්‍රිස්ටෝෆර් පීරිස් සහ ගැමුණු ඩයස්.

රබීන්ද්‍රනාථ ඨකූර් කවීන්ද්‍රයන් විසින් ප්‍රතිෂ්ඨාපිත 'ශාන්ති නිකේතන' නාමධේය ප්‍රඥා ප්‍රාසාදයට එම මහාශයන් ධරමාන කාලයේම ප්‍රවිෂ්ටව එතුමන්ගෙන්ම චිත්‍ර කලාව ප්‍රගුණ කිරීමේ පරම භාග්‍යය ලත් වාග්ගේයකාර ආනන්ද සමරකෝන්හු ශිල්ප නිමවා ආපසු මව්බිමට සම්ප්‍රාප්ත වූයේ 1938 වසරේය. ඔහුගේ පළමු නිර්මාණ සම්ප්‍රදානය වූයේ Temple Bells (පන්සලේ ඝන්ඨා නාදය) නමැති ගුවන්විදුලි නාට්‍යයයි. 1938 වසරේ වෙසක් පෝය දින එය ප්‍රචාරය කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිටය. සමරකෝනුන්ගේ Renunciation (අබිනික්මන) නමැති ඊළඟ ගුවන්විදුලි නාට්‍යයද ආනන්ද විද්‍යාලයේ සිටම ප්‍රචාරය කළේ 1938 ජූලි මස 27 වන දිනයේය අනතුරුව ඔහු ප්‍රචාරය කළ නාට්‍යය Pilgrimage To Katharagama (කතරගම වන්දනා ගමන) නම් විය. ආනන්ද සමරකෝනුන් මුල් යුගයේ ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළේ සංවාද හා ගීත මිශ්‍ර නාටක විය හැකිය.

මුල් යුගයේ ලංකා ගුවන්විදුලියේ සුපිරින්ටැන්ඩන්ට්වරයා වශයෙන් ෂර්ලි ඩා සිල්වා මහතා කාර්යෙහි නිරතව සිටියදී 'සමාජ සේවකයා' නමින් ගුවන්විදුලි නාට්‍යයක් පළමු වරට ප්‍රචාරය වූයේ 1938 මාර්තු මස 29 වන දා පස්වරු 5.30 සිට 6.00 දක්වාය මේ නාට්‍යය රචනා කරන ලද්දේ ඊට 39 වසරකට පසු මෙරට විධායක ජනාධිපති බවට පත් ජේ.ආර් .ජයවර්ධන මහතා විසිනි. මුදලිඳු ඊ. ඒ අබේසේකර මහතා විසින් නිෂ්පාදිත එම නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ ජේ . ආර් . ජයවර්ධන සහ එලිනා ජයවර්ධන දම්පතීන් විසිනි.

ජනාධිපති පදවියට පත් මුල්ම නළුවා තමා මිස ඇමරිකාවේ රොනල්ඩ් රේගන් නොවේ යැයි වරක් ජේ. ආර් . ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ අත්දැකීම සිහියට නගාගෙන විය යුතුය.

මුදලිඳු ඊ. ඒ .අබේසේකර සහ සී.ඒ.ෆොන්සේකා යන මහතුන් සමග මේ නාට්‍යයේ රඟ පෑ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා එහි හාමුදුරු නමකගේ චරිතය නිරූපණය කර ඇත. මෙම නාට්‍යයේ එන ගීත දෙක රචනා කළ ගුරු අභ්‍යාස විදුහල්පති වරයෙකු මෙන්ම විශිෂ්ට ගණයේ අධ්‍යාපන මනෝවිද්‍යාඥවරයෙක්ද වූ

යූ.ජී.පී ද සිල්වා මහතා නිරූපණය කර ඇත්තේ එහි එන හිඟන්නාගේ චරිතයයි.

එදා මෙන්ම මෙදාද මෙරට දරුවන් හා වැඩිහිටි රසිකයන් අතර නොනැසී පවත්නා 'මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ' සහ 'හඳ හාමී හැංගි හැංගි එබිලා බලනවා' යන මනරම් බාලාංශ ගී දෙක රචනා කොට

ගයන ලද්දේ යූ.ජී.පී. ද සිල්වා මහතා විසිනි. ඔහු විසින් ගැයුණු අනිත් ජනප්‍රිය ගීතය 'නිල් අහස් තලේ අගේ නෑ වලාකුළුෑ' යන්නය.

කෘතහස්ත පුවත්පත්කලාවේදී ඒ.ඩී.රංජිත් කුමාරයන් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී සිල්වා මහතා එක්තරා දිනපොත් සටහනක් ඔහුට පෙන්වීය. ඒ දිනපොත් සටහන මෙසේය.

'මම 1938 මාර්තු 29 ගුවන්විදුලි නාට්‍යයක රඟපෑවා. නාට්‍යය නිෂ්පාදනය කළේ ඊ ඒ අබේසේකර මුදලිඳු. ගුවන්විදුලියේ අධිකාරිවරයා ෂර්ලි ඩා සිල්වා මහතා. මේ නාට්‍යයේ නම 'සමාජ සේවකයා'. නාට්‍යය රචනා කර තිබුණේ ජේ. ආර් . ජයවර්ධන මහතා. නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවේ ජයවර්ධන මහතාත් ඒ මහතාගේ බිරිඳ එලිනා ජයවර්ධන මහත්මියත්. නාට්‍යයේ ආචාර්ය ගුණපාල මලලසේකර හාමුදුරු කෙනෙකු ලෙස රඟපෑවා. නාට්‍යයේ වූ ගීත දෙකම රචනා කළේ මම. අබේසේකර හා සී.ඒ. ෆොන්සේකා නම් මහතුන් දෙදෙනාත් රඟපෑවා."

දින පොත් සටහන පෙන්වීමෙන් පසු හඬ නගා සිනාසුණු සිල්වා මහතා රංජිත් කුමාරයන්ට පවසා ඇත්තේ මෙවදන්ය.

"මේකෙ ලස්සනම වැඩේ මේකයි. මේ නාට්‍යය අහලා රත්තපුර පැත්තෙ වලව්වක වයසක නෝනා කෙනෙක් හිඟන්නගෙ කොටස රඟපෑමට මට රුපියල් 25ක තෑග්ගක් එවලා තිබුණා. ගුවන් විදුලියට එවලා තිබුණු ඒ තෑග්ග ෂර්ලි ඩා සිල්වා මහතා මට පිරිනැමුවා. ඒ වන විට පහළොස් වසරක් ගුරු වෘත්තියෙ යෙදී සිටි මම හිඟන්නගෙ චරිතය හොඳින් රඟපෑම පුදුමයක් නෙවෙයි කියලා මං කිව්වහම ෂර්ලි ඩා හිනා වුණා."

1939 වසරේ නොවැම්බර් 23 වන දා පැවති අනුරාධපුර රුවන්වැලි සෑයේ කොත් පැලඳවීමේ උත්සවය නිමිත්තෙන් ලංකා ගුවන්විදුලිය ,

Our Lanka නමින් , කෙටි නාට්‍යයක් සහ කවි දෙකක් සහිත විශේෂ විචිත්‍රාංගයක් 1939 වසරේ නොවැම්බර් 21 වන දා ප්‍රචාරය කළේය. එම කෙටි නාට්‍යය රචනා කරන ලද්දේ එච්.ශ්‍රී නිශ්ශංක

මන්ත්‍රීශ්වරයා විසිනි. එහි වූ කවි දෙක තෙල්මා කායි මෙනෙවිය විසින් ගයන ලද්දේ ගිටාර් වාදනය අනුවය.

1948 පළමු නිදහස් දිනය නිමිත්තෙන් ලංකා ගුවන්විදුලිය නාට්‍ය පහක් ප්‍රචාරය කර ඇත. සී. ඩී.එස්. කරුණාජීවයන්ගේ 'ශ්‍රී වික්‍රම රාජසිංහ' ; සී.ඒ. ෆොන්සේකාගේ

'විජය' ; මුදලිඳු ඊ.ඒ. අබේසේකරන්ගේ '2 වන රාජසිංහ' ; යූ.ඒ.එස්. පෙරේරා ගේ ( සිරි අයියා. ඔහු නාට්‍ය ඉදිරිපත් කළේ ජයදේව නමිනි.) Advent of Portuguese (පෘතුගීසීන්ගේ පැමිණීම) සහ ජේ.එන්. ජිනේන්ද්‍රදාසයන්ගේ 'දුටු ගැමුණු' එම පංච නාට්‍යයෝ වෙති.

ලුවිස් කැරොල්ගේ සුප්‍රකට කෘතියක් වන Alice in Wonderland (ඇලිස්ගේ විස්මලන්තය) කතාව ලංකා ගුවන්විදුලිය විසින් කොටස් වශයෙන් ඉදිරිපත් කෙරෙන ළමා නාට්‍යයක් ලෙස Children's Hour

('ළමා පැය') වැඩසටහන මගින් ප්‍රචාරය කර ඇත. එය Uncle Peter ගේ හා Aunt Peggy ගේ නිෂ්පාදනයකි.



අදහස් (0)

ගුවන්විදුලි නාට්‍ය පුරා වත (2)

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 444 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16901 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site