IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


අසම්මත (Absurd) නාට්‍ය කරුවෙකුගේ අසම්මත විවරණයක්.

මතක හා මතය

 

[අසම්මත නාට්‍ය කලාවේ (Absurd Play) ප්‍රධාන පෙළේ නියෝජිතයෙක් වූ Eugene Ionesco (1912 -1994) රුමේනියානු ජන්මයක් ඇති ‍ ප්‍රංශ නාට්‍යකරුවෙකි. The Bald Prirna Donna (1950) , Rhinoceros (1960) ඔහුගේ වැදගත් නාට්‍ය හැටියට සැලකේ. ඔහු 06 වන දශකයේ සිංහල වේදිකාවටද අමුත්තෙක් නොවුණි. ඔහුගේ නාට්‍ය සිංහලෙන් නි ෂ්පාදනය වූ බැවිනි. මේ ලිපිය ඔහු විසින් 1955 අවුරුද්දේ ලියන ලද්දකි. ඉංග්‍රීසි ලිපිය Starting Point නම් වෙයි. Absurd නාට්‍ය කලාව පිළිබඳ Ionesco ගේ ආකල්පය හා ඔහුගේ නිර්මාණාත්මක පරිකල්පනය එමගින් මනා කොට විශද වෙයි. මෙම ලිපිය මවිසින් 1973 නොවැම්බර් මස 04 වන දින පරිවර්තනය කරන ලද්දකි.]

මගේ සියලුම නාට්‍ය උපත ලැබුවේ විඥානයේ මූලික තත්වයන් දෙකක් මගිනි. වරෙක ඉන් එකක්ද තවත් වරෙක අනිකද ඉස්මතු වෙයි. ඇතැම් විටෙක ඒ දෙකම එකට ඉස්මතු වෙයි. අස්ථිරත්වය හා ස්ථිරත්වය , නැතිකම හා වැඩිකම , වචනයේ අයථා විනිවිද භාවය හා එසේ නොවීම , එළිය හා ගන අඳුර ආදි ස්වභාවයන් පිළිබඳ දැනුවත්කම තමයි විඥානයේ මූලික තත්වයන් ලෙස සැලකෙන්නේ.

ලෝකයේ සාරය සිහිනයක් වැන්න. අප වටා ඇති පවුරු මින් පසු සවිමත් නොවේ. ආලෝකයෙන් හා වර්ණයෙන් සැදුණු අනන්ත විශ්වයක් , හැම දෙයක් අතරින්ම දැකීමට අප සමත්ව ඇත. මෙවැනි සිතිවිලි ඇතැම් මොහොතවල අප හැමෙකෙකුගේම හිතේ පහළ වන්නට ඇතුවා නිසැකය. එබඳු මොහොතක මුළු ජීවිතයම , මුළු ලෝක ඉතිහාසයම පලක් නැති , තේරුමක් නැති , නොවිය හැකි දෙයක් ලෙස දැනෙනු ඇත. හුරු පුරුදු පරිසරයෙන් තමා වෙන්වීමේ ආරම්භක අවස්ථාව මෙයයි. මෙය ඉක්මවා යෑමට අසමත් වූ කල සැබවින්ම ඔබට හැඟෙන්නේ නොදන්නා ලෝකයකට පිය නගන බවයි. ඔබ අතුරුදහන්ව යතියි එවිට සිතෙයි. ඉන් ඔබ තුළ හටගන්නේ බලවත් සන්තාපයකි. එය එක්තරා තෝන්තු ගතියක් වැන්න. එහෙත් මේ සියල්ල එලෙසින්ම ඔබ තුළ උදම් හැඟීමක්ද හටගන්වයි. එවිට අර සන්තාපය සැණෙකින් නිදහසකට පෙරළෙයි. එසේ යළි නිදහස හමුවුණු කල දැනෙනුයේ කුමක්ද? එය වූකලී නැවුම් උදෑසනක පළමු ඉරු එළිය මෙන් යළි ලද නිදහසත් සමග පහළ වූ අලුත් ජීවිතයක ආශ්චර්යයි. එසේ යළි ජීවය ලැබීම ඇත්තෙන්ම අප මවිතයට පත් කරන්නකි.

සෑම දේම මායාව සහ ව්‍යාජය බවට පත්ව ඇත්තාවූත් , මුළු මනුෂ්‍ය චර්යාවම විපරීතව ගියා වූත් , මුළු ඉතිහාසයම පරම නිස්සාරත්වයට ඇද වැටුණා වූත් , සියලු යථාර්ථයම , සියලු භාෂාවන්ම විකෘතිව සිඳී බිඳී ගිලිහී ගියා වූත් ලෝකයක් තුළ දැක්වීමට ඉතිරිව ඇති ප්‍රතිචාරය කුමක්ද? සෑම දෙයක්ම නොවැදගත් තත්වයට පත්ව ඇති කලක ඒ සියල්ලටම සිනාසෙනු මිස අන් කුමක් කරන්නද? සම්පූර්ණයෙන්ම නිදහස්ව ගිය සෙයක් , මිදී ගිය සෙයක් දැනුණු මෙබඳු එක් මොහොතක මා තුළ උපන් හැඟීමක් ඇත. එනම් පරිභවයට සුදුසු පදනමක් නැති ව්‍යාජයක් විනා අනිකක් නොවන ලෝකයක මිනිසුන් හා භාෂාව වහල් කරගෙන මට රිසි කවරක් හෝ කළ හැකි බවයි.

මේ සවිඥාන තත්වය ඇත්ත වශයෙන් ඉතා දුර්ලභ වූවකි. මා හට පීඩා නොදෙන , එසේම තව දුරටත් නොපවතින විශ්වයක් තුළ ජීවමානව සිටීම ගැන උපන් ප්‍රීතිය හා විස්මය පැවතියේ හැක්කේ මොහොතකටය. සාමාන්‍යයෙන් මීට ප්‍රතිවිරුද්ධ හැඟීමම ජය ගනී. සැහැල්ලු දේ බර බවට හැරෙයි. විනිවිද පෙනෙන දේ ඝන වෙයි. ලෝකය මා පෙළයි.. විශ්වය මා තළා දමයි. මා හා ලෝකය අතරත් මා හා අභ්‍යන්තර මා අතරත් තිරයක් , පසුකර යා නොහැකි පවුරක් ඇත. භෞතික පදාර්ථය හැම අස්සක් මුල්ලක්ම පුරවයි. සියලු ඉඩකඩ පැහැර ගනියි. එහි බර සියලු නිදහස මුලිනුපුටා දමයි. ක්ෂිතිජය වැසී යයි. ලෝකය හුස්ම හිර කරන බිං ගෙයක් බවට පත්වෙයි. භාෂාව අමුතු ආකාරයකින් බිඳ වැටේ. වචන ගල් කැට හෝ මළකඳන් සේ ඇද හැලෙයි, බලවත් හමුදා විසින් මා ආක්‍රමණය කර ඇතැයි මට හැඟෙයි. මට ඒවා සටන් කර ජයගත නොහැකිය.

මගේ නාට්‍ය අතරින් සාමාන්‍යයෙන් වඩාත්ම නාට්‍යමය ඒවා වශයෙන් සැලකෙන A medee හා Victims of Duty නාට්‍යවල උපත නියත වශයෙන්ම මෙතැනයි. එබඳු මානසික තත්වයක් පාදක වුණු කලක වචන හා එහි මායා බලය වෙනුවට පැහැදිලිවම එහි තැන ගන්නේ වස්තු හා උපකරණයි. A medee හා Madeleine නාට්‍යවල තට්ටු නිවාසය තුළ ගණන් කළ නොහැකි තරම් හතු පැළ වෙයි. ඒ තුළ ඇති මළ සිරුරක්ද කෙමෙන් ඉදිමී ගොස් එහි පදිංචි කරුවන්ද පිට මං කරයි. Victims of Duty නමැති නාට්‍යයෙහි එන චරිත තුනකට කෝපිවලින් සංග්‍රහ කරන අවස්ථාවේදී සිය ගණනක කෝප්ප ගොඩක් දිස් වෙයි. New Tenant නමැති නාට්‍යයෙහිදී එහි ගෘහ භාණ්ඩ පළමුව ගොඩනැගිල්ලේ ඇති සෑම තරප්පු පේළියක්ම අවහිර කරයි. ඉන් පසු වේදිකාව හැඩිකරයි. අවසානයේ එම නිවසේ කාමරයක් ලබා ගැනීමට පැමිණි චරිතය ඒවායින් වළලා දමයි. The Chairs නාට්‍යයෙහිදී නොපෙනෙන අමුත්තන් සඳහා තැබූ දුසිම් ගණනක් පුටුවලින් වේදිකාව පිරී ඇත. Jacques නාට්‍යයෙහි එන තරුණ කෙල්ලකගේ මුහුණ මත නාසා කිහිපයක් පෙනේ.

වචන ගෙවී යෑමට ගොදුරු වූ කල මනසද ගෙවී ගියා වෙයි. භෞතික පදාර්ථයෙන් පිරීගත් විශ්වය එවිට හිස්ව යයි. ඕනෑවට වඩා වැඩිකමයි , ප්‍රමාණවත් නැතිකමයි යන තත්වයන් දෙක එකට අත්වැල් බැඳගනියි. හුදකලා බව හා අධ්‍යාත්ම විරෝධී බලවේගයන්ගේ විජයග්‍රහණයත් අප අරගල කරමින් විරෝධය පාන සියල්ලත් මූර්තිමත් කෙරෙනුයේ වේදිකා වස්තු මගිනි. එහෙත් මෙම තැවුල් සහගත අවස්ථාවේදී මම මගේ සහන කිසි සේත් අත්නොහරිමි. මා අපේක්ෂා කරන පරිදි අර සංතාපය නොසලකා එය සමගම සතුටේ සලකුණක් වන හාස්‍යය හඳුන්වා දීමට මට හැකි වුවහොත් එම හාස්‍යය වූකලී මගේ හැඟීම් පිට කරන දොරටුව , මගේ විමුක්තිය හා ගැලවීම වනු ඇත.

මගේ නාට්‍යය සඳහා විනිශ්චයක් දීමට මම අදහස් නොකරමි. එය මට අයිති කාරියක් නොවේ. නාට්‍යයේ නිර්මාණයට වස්තු වූයේ කවර ආකාරයේ භාවමය අංගෝපාංගද , එහි උපතට හේතු වූයේ කුමක්ද යන්න ගැන යම් කිසි ඉඟියක් දීමට පමණක් මම මෙහි ලා වෑයම් කළෙමි. එහි උපතට හේතු වූයේ මනෝභාවයක් විනා මතවාදයක් නොවේ. චිත්ත වේගයක් විනා වැඩපිළිවෙළක් නොවේ. ප්‍රාථමික තත්වයේ තිබෙන භාවයන්ට ආකෘතික ව්‍යුහය දෙන්නේ සකලාංගයන්ගේ ඒකමිතියයි. එය අභ්‍යන්තර අවශ්‍යතාවක් සපුරන්නක් මිස පිටින් පනවන ඇතැම් ආකෘතික නියමයන් පිළිබඳ තර්කයන්ට පිළිතුරු සපයන්නක් නොවේ. තවද මගේ නාට්‍යවල නිර්මාණ මූලය කලින් නියම කරගත් ඇතැම් ක්‍රියාවකට යටත් වීමක්ද නොවේ. එය වූකලී මානසික බලවේගයක් පිටට ගෙන පෙන්වීමකි. අභ්‍යන්තර විශ්වය තුළ හටගන්නා ඝට්ටනයක් වේදිකාව මතට විහිදුවාලීමකි. අනුවිශ්වය විශ්වයට සමාන වන්නකි. අප එකිනෙකා යැයි කියන්නේ අනික් සියලු දෙනාමය. එහෙයින් යට කී මානසික බලවේගය , අභ්‍යන්තර විශ්වයේ ඝට්ටනය , මා තුළද , මගේ සංතාපය තුළද , මගේ සිහින තුළද , මගේ හුදකලාව තුළද ගැඹුරු ලෙසම පවතී. විශ්ව සාධාරණ පොදු බිම යළි සොයා ගැන්මෙහිලා මට එය මහඟු අවස්ථාවක් සලසා දෙයි.
මගේ නාට්‍ය අතරින් සපුරා හාස්‍යය දැකිය හැකි එකම කෘතිය වශයෙන් විචාරකයන් සලකන්නේ The Bald Soprano ය. එහෙත් එහි එන හාස්‍යය පවා මා දකින්නේ අසාමාන්‍ය භාවය පිළිබඳ ප්‍රකාශනයක් වශයෙන්මය. මගේ මතය හැටියට මෙම අසාමාන්‍ය ලක්ෂණය පැන නැගිය හැක්කේ නීරස වූද , ඉතා සාමාන්‍ය වූද එදිනෙදා චර්යාවේ හා කතාබහේ අසීමිතව යෙදී සිටින විට පමණි. දිනපතා අත්දැකීම් තුළ මෙන්ම සන්නිවේදනය සඳහා දරන උත්සාහයන් තුළද ඇත්තේ අසම්මතයකි. අභව්‍ය ස්වභාවයකි. එය වටහාගැන්මට නම් පියවරක් ඉදිරියෙන් සිටිය යුතුය. හාස්‍යය වූකලී හුදු සරල අසාමාන්‍ය භාවයයි. නිස්සාරත්වය තරම් මසිත කලඹන සුලු තවත් දෙයක් නම් නැත. අධියථාර්ථය ඇත්තේද අපේ අත පොවන දුරමය. එනම් අපගේ දිනපතා කතාබහ තුළමය.



අදහස් (0)

අසම්මත (Absurd) නාට්‍ය කරුවෙකුගේ අසම්මත විවරණයක්.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1572 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site