(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාව සහ චීනය, ඉරානයට අංශ කීපයක් ඔස්සේ සහාය ලබාදෙන බවත් "හමුදා සහයෝගීතාව" එලෙස රුසියාව සහ චීනය, ඉරානයට සහාය ලබාදෙන එක් අංශයක් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගියදා ප්‍රකාශ කළේය.

එසේම ඉරානය කෙදිනකවත් ඇමෙරිකාවෙන් සටන් විරාමයක් හෝ සාකච්ඡාවක් ඉල්ලා නොමැති බවද ඔහු පැවැසුවේය. ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධයේදී, රුසියාව සහ චීනය, ඉරානයේ උපාය මාර්ගික සහකරුවන් බවද ඔහු ප්‍රකාශ කළේය. රුසියාව සහ චීනය, අතීතයේ සිට ඉතා සමීපව ඉරානය සමග කටයුතු කළ රටවල් බවත් අදටත් එම සහයෝගය අඛණ්ඩව පවතින බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශපාලනමය, ආර්ථිකමය සහ හමුදාමය වශයෙන් ඉරානය, රුසියාව සහ චීනය සමග ඉතාමත් හොඳ සහයෝගයකින් කටයුතු කරන බවද අරග්චි ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ රුසියාව, ඉරානයට සහාය ලබාදෙන බවට තමන් අනුමාන කරන බවයි. කෙසේ නමුත් තමන් රුසියාව, ඉරානයට උදව් කරන බව සිතන ආකාරයෙන්ම ඇමෙරිකාව, යුක්රේනයට උදව් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශ්වාස කරන බව තමන් අනුමාන කරන්නේ යැයි ජනපති ට්‍රම්ප් සඳහන් කළේය.

එම්.එස් නව් කේබල් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගියදා මෙම අදහස් පළ කළේය.