(යොහාන් භාසුර)

මරණයට පත්වූ මහා භාණ්ඩාගාරයේ හිටපු නිලධාරී රංග රාජපක්‍ෂ මහතාගේ මරණ සැක සහිත යැයි ඔහුගේ බිරිඳ පවසා ඇතැයි ප්‍රකාශ කළේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ලිපියක් පදනම් කරගෙන බවත් ඒ පිළිබඳව ප්‍රකාශයක් දීමට සක්‍ෂි සහිතව කුලියාපිටිය පොලිසියට ලබන 9 වැනි දා යන බවත් පිවිතුරු හෙළඋරුමය පක්‍ෂයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (6) පැවසීය.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද (6) පැවැති ‘මහජන හඩ’ සංවිධානයේ විශේෂ මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.

රංග රාජපක්‍ෂ මහතාගේ මරණ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට කලියාපිටිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව කී ගම්මන්පිල මහතා සක්‍ෂි නොමැතිව තමන් කිසිඳු ප්‍රකාශයක් නොකරන බව ද සඳහන් කළේය.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රංග රාජපක්‍ෂ මහතාගේ මරණ පිළිබඳව පශ්චාත් මරණ පක්‍ෂණය සඳහා වෛද්‍යවරු සිවුදෙනකුගෙන් යුත් කමිටුව පත්කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් යැවූ ලිපියේ මරණයට පත් රාජපක්‍ෂ මහතාගේ බිරිඳ මරණ සැකසහිත යැයි පවසන්නේ යැයි සඳහන්ව තිබූ බව කී ගම්මන්පිල මහතා ඒ අනුව එම ප්‍රකාශය කර ඇත්තේ මෙරට ඉහළම නිලධාරියකු බව ද සඳහන් කළේය.