(ෂේන් සෙනෙවිරත්න)

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ යම් වැරදක් සිදුව ඇති බවට අග්‍රාමාත්‍යවරිය පිළිගෙන තිබියදී එම ක්‍රියාවලියම ඉල්ලා සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි  තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක නායක හිමියෝ 06 වසර ඉගෙනුම ලබන දරුවන්ගේ මාපියන්ගේ සංසදය උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී විමසා සිටියහ. 

එම සංවිධානයේ සාමාජිකයන් උන්වහන්සේ බැහැ දැක අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වසරේම ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන්නැයි සංදේශයක් බාර දීම එහිදී සිදු කෙරුණි.

එහිදී මහානායක හිමියෝ වැඩිදුරටත් අවධාරණය කරමින් මෙසේ විමසූහ. එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ කිහිපදෙනකුගේම මේ වන විට රාජකාරී අත්හිටවා තිබෙනව. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම රජය විසින්ම වසරකට කල් දමා තිබෙනව. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යම් වැරදි තිබෙන බව රජය පවා පිළිගෙන තිබෙනවා.  කණ්ඩායමක් එය ක්‍රියාත්මක කරන ලෙසත් තවත් කණ්ඩායමක් එය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලීමත් ගැටළු සහගතයි.

එහිදී මහා නායක හිමියෝ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් උගතුන් ආචාර්ය මහාචාර්යවරුන් සම්බන්ධ කරගනිමින් එය විධිමත් අයුරින් සිදු කිරීම යෝග්‍යයි ඒ සඳහා අවශ්‍ය ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරුන් මේ රටේ සිටිනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයා සුළු වැරදි කිහිපයක් ඉදිරිපත් කරමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කිරීම පිළිගත නොහැකියි..

මෙම පිරිස වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක   මහා නා හිමියන් ද බැහැදැක සංදේශයද භාරදුන්හ.

එහිදී මහානායක හිමියන් අවධාරණය කර සිටියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනා එකතු වී සාකච්ඡා කොට දරුවන්ට උචිත නිවැරදි තීරණයකට පැමිණිය යුතු බවයි.

එහිදී  දෙමව්පිය සංසදයේ සාමාජික ජයනි තෙල්ලමුරේ මහත්මිය පවසා සිටියේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වසර තුළ ක්‍රියාත්මක කළ යුතුයි. එය කඩාකප්පල් කිරීමට සහාය නොදෙන ලෙස මුද්‍රිත විද්‍යුත් සහ සමාජ මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.