වරලත් විදුලි ඉංජිනේරුවකු, සිංහල භාෂා විශාරදයකු, හෙළ වදන් වැලේ නිර්මාතෘ ඊලියන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා ටයිටස් තොටවත්ත මහතාගේ වැඩිමල් සොහොයුරාය.
ඔහුගේ දේහය අවසන් ගෞරව සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව ඥාතීහු කියති.
ඔහු ගැන ගුණ කථනයක් හෙළ හවුලේ ක.ක.ගනුෂ්ක රන්දුල මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර ඇත.
‘‘මිය යන විට 89 වැනි වියේ පසු වූ එතුමාණෝ වෛද්‍ය මල්ලිකා ද සිල්වා මැතිනිය ගේ ස්වාමිපුරුෂයාණෝ ද වරුණ තොටවත්ත මහතා ගේ පියාණෝ ද වූ හ. නැසීගිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ටයිටස් තොටවත්තයන් ගේ දෙටු සොහොවුරකු වූ එතුමාණෝ වෘත්තියෙන් විදිලි මැවිසුරුවකු (Electrical Engineer) වූ අතර සිංහල භාෂාවට අනුපමේය සේවාවක් ඉටු කළ විද්වතෙක් ද වූ හ.
1926 දී අගනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ T. G. M. ජුලියස් ද සිල්වා පියාණනට දා ව සිසිලියා හෙට්ටිආරච්චි මෑණියන් ගේ කුසින් මෙලෝ එළිය දුටු තොටවත්තගේ මනුවෙල් ඊලියන් ද සිල්වාණෝ කොළොඹ ආනන්ද විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය පිණිස ලංඩන සරසවියට බැඳුණාහු එහි දී විදිලි මැවිසුරුවම පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබූ හ. අනතුරු ව එක්සත් රජදහනේ විදිලි මැවිසුරු හවුල විසින් ද සිරි ලක විදිලි මැවිසුරු හවුල විසින් ද වර ලත් විදිලි මැවිසුරුවකු ලෙස පිළිගැනුණු එතුමාණන් ලංකා විශ්වවිද්‍යාලයයේ විදිලි මැවිසුරුවම ඉගැන්වීම ඇරැඹූ අලුත එහි කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කොට තිබේ.
1954 දී මැවිසුරුවකු ලෙස රජයේ විදිලි අදිකාරියේ සේවයට එක් වූ ඊලියන් ද සිල්වාණෝ විද්‍යා තාක්ෂණික සංකල්ප සිංහලයෙන් පෑමේ අවශ්‍යතාවට මුහුණ දුන්හ. හෙළ හවුලේ සාමාජිකයකු මෙන් ම කුමාරතුංග මුනිදාසයන් ගේ භාෂා සංස්කෘතික චින්තනයේ ප්‍රබල අනුගාමියකු ද වූ එතුමාණෝ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව තැනූ පාරිභාෂික පදවල නුසුදුස්ස දුටුවාහු නවමු සිංහල සිප්යුරු වදන් (Technical Terms) තුන්දහස් හාරසියයකට (3400) අධික සංඛ්‍යාවක් තනා නූතන සිංහල වාක්කෝශය පෝෂණය කළහ. පිරිපහදුව (Refinery), රැහැන (Line), තලබමනය (Turbine), මනුව (Meter), වහරුව (Switch), පිලිසිය (Fuse), තෙකලා (Three-phase), බෙදෑරුම (Distribution), පිරිතෙල් (Petrol) ලිහිසි තෙල් (Lubricants), බල පොළ (Power Station), පිරැවුම් පොළ (Filling Station), උපසිරැසි (Subtitle), හඬකැවීම (Dubbing), සැකිලිරූ (Cartoon), අදියුරුවම (Direction), පිළිසැරුම (Recycle) යනු එතුමා විසින් තනන ලද වදන් ගොන්නෙන් කිහිපයක් පමණි.
කුමාරතුංග මුනිදාස, සුචරිත ගම්ලත් යන විද්වතුන් දෙදෙන හැරුණු කොට මේ සා විශාල වදන් සංඛ්‍යාවක් සිය බසට එක් කළ තවත් විද්වතතෙක් හමු නො වේ. ඊලියන් ද සිල්වාණන් තරම් ගැඹුරට සිංහලයත් ඉංගිරිසියත් මැවිසුරුවමත් දන්නා අන් කිසි දු මැවිසුරුවකු ගැන තමන් නො දන්නා බව අරීසෙන් අහුබුදුවෝ වරෙක සඳහන් කළහ. සිංහල සිප්යුරු වදන් තැනීමේ ලා ඊලියන් ද සිල්වාණන් අනුගමනය කළ පද සාධන පිළිවෙත් වනාහි විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යයනයකට විෂයය විය යුත්තෙකි.
ආදි සිංහලයා ගේ ශිල්ප තාක්ෂණික ඤාණය පිළිබඳ ව පර්යේෂණ කළ එතුමාණෝ පරිසර හිතකාමී තාක්ෂණික ලෝකයක් සඳහා සාම්ප්‍රදායික ඤාණය උපයුක්ත කොටගත හැකි අයුරු මැනැවින් පෙන්වාදුන්හ. වර්තමානයේ ප්ලාස්ටික් බැරලයක් ලෙස මහා පරිමාණයෙන් නිෂ්පාදනය කොට අළෙවි කැරෙන සිලින්ඩරාකාර කාබනික පොහොර පරිවර්තකයේ නිර්මාතෘවරයා වූයේ ද ඊලියන් ද සිල්වාණන් බව බොහෝ දෙනා නො දනිති. මේ නිර්මාණය සඳහා එතුමාණෝ ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබූ හ. සම්මාන ලද පුවත සැළ වූ විට ඊලියන් ද සිල්වාණන් එය ප්‍රතික්‍ෂේප කෙළේ “මගේ කුදු මෙහෙය ඔබ ගේ සොම්නසට හෙය වී නම් ඒ පමණි. තව කුමකට යැ සම්මාන?” කියමින් බව එවක පරිසර අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ සහාය ලේකම් පදවිය හෙබැවූ සුනිල් සරත් පෙරේරාණෝ සිහි කරති. වරක් හෙළ හවුල විසින් ‘හෙළ බස් මිණි’ සම්මානය ප්‍රදානය කරන්නට සැරැසුණු අවස්ථාවේ එතුමාණන් එය ප්‍රතික්‍ෂේප කෙළේ ද එවැනි ම ප්‍රතිචාරයක් දක්වමින් බව සඳහන් වේ. සම්මාන පසු පස හඹා ගොස් මානය පුම්බාගන්නා පුහු පඩිවරුන් බහුල මෙකල ඊලියන් ද සිල්වාණෝ සැබෑ පඬි රුවනෙකි.
මැවිසුරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ හිණිපෙත්තට ම නැඟි ඊලියන් ද සිල්වාණෝ රජයේ විදිලි අදිකාරියේ මැවිසුරුවකු ලෙස ද, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ ප්‍රධාන මැවිසුරු ලෙස ද, ලංකා ට්‍රාන්ස්ෆෝමර සමාගමයේ කළමනාකරන අධ්‍යක්‍ෂ ලෙස ද, ඩුබායි රජයේ වෛද්‍ය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපප්‍රධාන මැවිසුරු ලෙස ද සේවයෙහි නියුතු වූවෙකි. කලක් ශ්‍රී ලංකා ගුවන්විදිලි සංස්ථාවේ සහ ලංකා පොල් සැකැසුම් මඬුල්ලේ ද සභාපති වූ එතුමා එක්සත් ජාතීන් ගේ සංගමයේ සමුළු කිහිපයෙක දී ම ලංකා රජයේ නියෝජිතයා ද විය. ‘කුමරතුඟු අමර වැකි’ සහ ‘සිංහළයෙන් සිප්යුරු වදන්’ යනු එතුමාණන් විසින් විරචිත කෘති ද්වයය යි. ඉහත දෙ වැනියට කී කෘතිය එක්සත් ජාතීන් ගේ යුනෙස්කෝ ශාස්ත්‍ර සංග්‍රහයෙහි (UNESCO, ABD Journal 2003, volume 33, No 3) ඇගැයුමට ලක් කොට තුබුණේ ‘ලක් දිවින් එළි දුටු මාහැඟි පබඳක්’ ලෙසිනි.
ඊලියන් ද සිල්වාණන්ගේ දේහය අද දින පටන් මහජන ගෞරවය සඳහා බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු කොළඹ කනත්තේදී 26 වැනි සෙනසුරාදා සවස 4 ට සිදු කිරිමට නියමිතය.
ක. ක. ගනුෂ්ක රන්දුල
(හෙළ හවුලේ මහ මඬුල්ලේ ඇතුළතු)‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට නිවන් සුව පතමි ! (ම)
ඔබට නිවන් සුව ! (බ)
පියදාසගේ දැන් වයස සෙවීම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ප්‍රශ්නයක් ලෙස යොදා ගත හැකිය. (බ)
ඔබතුමාට නිවන් සුව! ඔබතුමාගේ අභාවය ගෙන ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබාදී ඔබතුමාට අවසන් ගෞරවය දක්වන්නට ජනතාවට අවස්ථාවක් ලබාදීමට සියලුම මාධ්‍ය ක්‍රියා කළයුතු වේ (නි)
පියදාස පෙරේරා මහතාගේ වයස සෙවීම පිළිබඳ ප්‍රශ්නය හරියට කළුනික තිබෙනා තැන සෙවීමට වඩා අසීරු කාර්යයකි (ම)
ඔබට නිවන් සුව! (නි)
හෙළ බස, හෙළ බිම සුවඳ කළ විද්වතාණන්ට නිවන් සුව පතමි. (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ! (බ)
සිංහලයෙකු ලෙස ඔබතුමා සිංහල භාෂාවට කර ඇත්තේ අනගිභවනීය අමිල සේවයකි. සසර සරණ තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ මතු උපදින්නට හේතු වාසනා වේවා! (නි)
ඔබතුමාගේ "සිංහලයාගේ සිප්ලකුව" (1993 මහනුවරදී )දේශනය තවමත් හිතේ රැව් දෙනවා. ඔබට නිවන් සුව !(අ)
ශ්‍රී ලංකාවට තවත් ශ්‍රේෂ්ට පුත්ගලයෙක් අහිමි වුණා .ඔබතුමාට නිවන් සුව අත්වේවා (අ)
ඔබ තුමාට නිවන් සැප අත්වේවා! හෙළ බසට කළ අනුපමේය සේවය අමරණීය වේ (බ)
එතුමාට නිවන් සුව. (බ)
ඔබ තුමා මේ රටට කරපු සේවය අමරණීයයි නමුත් මම නම් සිරි වගේ ඔබතුමාව මේ වගේ රටක උපදීවා කියල පතන්නේ නැහැ (බ)
මගේ 70 වැනි උපන් දිනයට ඊලියන් ද සිල්වා එතුමාගේ පියා සමග සහභාගි වුනේ වයස 21 තරුණයකු ලෙසයි. කාලය ගිය ඉක්මන. ඔබට නිවන් සුව.(බ)
ඔබ වැනි පුතුන් ලද ලක්මව් පින්වන්තයි. නිවන් දැකුමට පෙර තව කීපවරක් ඉපදෙනු මැන ලක්බිම. (බ)
නිර්මාණය අවබෝධ වේවා (අ)
හෙළ බස සරු කල ඔබ සැදී වදන් පෙළ අගෙයි. සින්ගිරිස් වදන්වලින් දොඩමලු වන එෆ්.එම් ගිරා පෝතකයින් ඔබ ගැන නොදන්නවා විය හැක ඔබතුමාට නිවන් සුව පතමු. (අ)
මැතිදුනි ඔබට නිවන් සුව (අ)
ඔබගේ මෙහෙය අමරණීයයි.ඔබට නිවන් සුව අත්වේවා (අ)
කණගාටුදායක පුවතක් (නි)
පියදාස පෙරේරාට මොලේ අව්ලක් ද? දැන් වයස කීයද පියදාස (අ)