(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල සමාගම්වලට අයිති හෝ ඊශ්‍රායල සමාගම් යටතේ මෙහෙයුමේ සිදු කරන සියලුම නෞකාවලට හවුති කැරළිකරුවන් ඉදිරියේදී ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඒ හේතුවෙන් ඊශ්‍රායල ධජය යටතේ යාත්‍රා කරන නෞකාවලින් තම පුරවැසියන් ඉවත් කරගන්නා ලෙස අනෙකුත් රටවලට දැනුම් දෙන බවත් යේමනයේ ඉරානයට සම්බන්ධ හවුති කැරළිකරුවන්ගේ ප්‍රකාශක ජනරාල් වාහ්යා සරියා ප්‍රකාශ කර ඇත.

අල්-ශිෆා රෝහලට පහර දීම අපරාධයක් බවත් ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය හෝ සම්මුතීන් පිළිබඳව තැකීමක් නොකරන බවත් කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රෙහෙමාන් ඊයේ(19) පැවති මාධ්‍ය හමුවකදී පැවැසුවේය.එසේම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා දෙපාර්ශවය ගිවිසුමකට එළඹීමේ ඉතාමත් සුළු ඉඩ ප්‍රස්තාවක් තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තවද අල් - ශිෆා රෝහලෙන් ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන ආ නොමේරූ ළදරුවන් 30 දෙනකු ප්‍රතිකාර සඳහා ඊජිප්තුවට යවන බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇත.පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව ඊශ්‍රායල ගෙනයන යුද්ධය තවත් ඛේදාන්තයක් වීමට ප්‍රථමයෙන් නැවත්වීම සඳහා සටන් විරාමයකට එළැඹීමට ජාත්‍යන්තර ප්‍රජාව ඊශ්‍රායලයට පීඩනයක් එල්ල කළ යුතු බව ජෝර්දාන රජු අබ්දුල්ලා පවසයි.