( තිළිණි ද සිල්වා )
හාම්පුතුන් ගෙන් පොරොන්දු වූ පරිදි වැටුප් නොලැබීම් , විවිධ තාඩන පීඩා, හිරිහැරයන්ට ලක්වූ ආදී විවිධ හේතූන් මත සිය සේවා ස්ථාන වලින් පලා ආ ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 40 දෙනෙකු මේවන විට සෞදියේ රියාද් නුවර රැදී සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම ලාංකික ගෘහසේවිකාවන් පිරිස සෞදි රජයේ අනුග‍්‍රහයෙන් රියාද් නුවර ක‍්‍රියාත්මක ‘‘ කාන්තා සුබසාධන කඳවුරු ’’ තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අධීක්ෂණය යටතේ නේවාසිකව රැඳී සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
මෙම පිරිසගෙන් ගෘහසේවිකාවන් 14 දෙනෙකුම පොරොන්දු වූ පරිදි හාම්පුතුන් ගෙන් වැටුප් නොලැබූවන් වත අතර ඇතැම් පිරිස් මීට වසර අටකට වැඩි කාලයක සිට සෞදි ගෘහසේවය සඳහා පැමිණි පිරිස් බවද වාර්තා වේ.
මෙම පිරිස් සෞදි රජයේ කාන්තා සුබසාධන කඳවුරු තුළ සිටියද මෙම කාන්තාවන්ගේ සේවා ගිවිසුම් කඩවීමේ ගැටලූ නිරාකරණ කටයුතු සහ වෙනත් අවශ්‍යතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්ව කටයුතු කරන බවද එහි තානාපති නිලධාරියෙකු ලංකාදීපයට පැවසීය.
එසේ තානාපති කාර්යාලය මැදිහත්ව කටයුතු කරමින් සිටියදී ඇතැම් සේවිකාවන් විවිධ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සෞදිය තුළ ඔවුන්ට සහන ලබා දීමේ ක‍්‍රමවේදයන් ගැන විවේචනාත්මක දෑ පළ කරන බවද එම නිලධාරියා කියා සිටියේය.
එවැනි දෑ වලින් ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන් අසීරුතාවයට පත්වන සේම ඔවුන් වෙනුවෙන් සිදු කරන්නා වූ කි‍්‍රයාවලියට බාධා එල්ල වීමක් සිදු වන හෙයින් හැම විටම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද එම තානාපති නිලධාරියා පෙන්වා දේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා සඳහා මැද පෙරදිග යන කාන්තාවන්ගේ ප්‍රශ්න , දුක්ගැනවිලි ගැන රජය මීට වඩා උනන්දුවක් දැක්වියයුතුයි. සොයා බැලිය යුතුයි. විදේශ ආදායමෙන් වැඩි හරියක් අපේ රටට ලැබෙන්නේ ඔවුන්ගෙනුයි. කොටින්ම කියනවා නම් අපේ මේ දේශපාලුවන්ට වුණත් සුර සැප විදින්න පුළුවන් වෙලා තියෙන්නේ මේ කාන්තාවන් නිරා දුක් විඳලා එහෙන් හම්බ කරලා එවන මුදල් හින්දයි! අපේ බලධාරීන් නිකරුනේ, මහජන මුදල් මොන තරම් නාස්ති කරනවද? ඒ ගැනවත් හිතලා මේ කාන්තාවන් වෙනුවෙන් මැදිහත් වී මොවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කළ යුතුයි. ආපසු එන්නට කැමති අය රජයේ වියදමින් ආපසු ගෙන්වා ගැනීම සුදුසුයි.