(ටී.කේ.ජී.කපිල )

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වී , එංගලන්තය බලා පැන යාමට පැමිණි චැඩ් ජාතික ගුරුවරයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කර තිබේ .

31 හැවිරිදි මොහු  සෞදි අරාබියේ අරාබි භාෂාව උගන්වන චැඩ් ජාතික ගුරුවරයෙකි .

මොහු කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 න ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු සිය ආගමන නිශ්කාශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ආගමන විගමන නිලධාරී කවුළුව වෙත තම කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි භාර දී තිබේ .

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය ප්‍රමිතියකින් තොරව සකස් කර ඇති බවට එහි සේවය කළ නිලධාරීවරයාට හැගී ගිය බැවින් , මෙම ගුවන් මගියා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ .

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් චැඩ් ජාතිකයෙකු බවත් , තමන්ට මෙම ගුවන් ගමන් බලපත්‍රය තම සහෝදරයෙකු විසින් සකස් කර දුන් බවත් ප්‍රකාශ කර තිබේ .

එසේම තමන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ දින 05 කට පසුව එංගලන්තය බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බව ද එහිදී මෙම චැඩ් ජාතිකයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ .

 ඒ අනුව මෙම චැඩ් ජාතිකයා අත් අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කිරීම සදහා කටාර් ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .