(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොතලාවල  ආරක්ෂක  විශ්වවිද්‍යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියේ  තඹ පටි මීටර්  2,199ක්   සොරකම්  කිරීමෙන් රුපියල් කෝටියක  පමණ අලාභයක්  සිදුව   අැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේදී  (කෝප්)  තොරතුරැ අනාවරණය විය.

රෝහලේ ආරක්ෂක හා අභ්‍යන්තර පාලන දුර්වලතා, මූල්‍ය කළමනාකරණ ගැටලු  සහ  විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව  කාරක සභාව   විසින් පෙන්වා දෙන ලදි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගියදා (21) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට  2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ විශ්වවිද්‍යාලයේ වර්තමාන කාර්යසාධනය හා මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ    සාමාජිකයෝ   කැඳවනු ලැබ සිටියහ.

ඉකුත්  2022 සහ 2023 වර්ෂවලදී සිදුව ඇති තඹ පටි සොරකම සම්බන්ධයෙන් සිවිල් කොන්ත්‍රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත්, සොරකම් කළ තඹ පටිවල මුළු ප්‍රමාණය සහ පොලිසිය   සොයාගත් ප්‍රමාණය අතර පවතින වෙනස්කම් මෙන්ම, නඩු භාණ්ඩ සම්බන්ධ  වාර්තාවල සඳහන් මිනුම් අතර පවතින පරස්පරතා පිළිබඳව කාරක සභාව  විසින්  කරුණු  විමසන  ලදී.

එමෙන්ම, රෝහලේ දේපළ කළමනාකරණය හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදවල පවතින දුර්වලතාද පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණ. රෝහල ආරම්භයේ සිටම දේපළ සහ ඒවායේ ප්‍රමාණ පිළිබඳ නිසි ලේඛන පවත්වාගෙන නොතිබීම, විදුලි හා අකුණු සන්නායක පද්ධති සම්බන්ධ වගකීම් නිසි පරිදි නිලධාරීන් වෙත බාර නොදීම සහ නියමිත නඩත්තු පරීක්ෂණ සිදු නොකිරීම යන කරුණු පිළිබඳව කාරක සභාව  අවධානය යොමු කළේය. සොරකමෙන් පසු අකුණු සන්නායක පද්ධතිය යළි සකස් කිරීමේදී තඹ වෙනුවට  ඇලුමිනියම් කම්බි භාවිත කිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව ප්‍රශ්න කළ අතර, එමඟින් පද්ධතියේ තාක්ෂණික ප්‍රමිතීන් හා ආරක්ෂාව නිසි පරිදි තහවුරු කර  තිබේද  යන්න පිළිබඳවද  කරුණු  විමසා අැත

 ඇඳන් 800කට අධික ධාරිතාවකින් යුත් රෝහලේ ඇතැම් වාට්ටු, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම මෙන්ම, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව කාරක සභාව දීර්ඝ ලෙස කරුණු විමසීය. රෝහල තුළ දිගින් දිගටම මතුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එය රජයේ රෝහල් ආකෘතිය යටතේ පවත්වාගෙන යන්නේද, නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේද යන්න කඩිනමින් තීරණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර එසේ පැහැදිලි තීරණයකට එළඹ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් රෝහල තුළ පවතින ගැටලු තවදුරටත් උග්‍ර විය හැකි බවද කාරක සභාව  පෙන්වා දුන්නේය.

රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමේදී මතුව ඇති ගැටලු, ශ්‍රවණාගාර ඉදිකිරීම් ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රමාදය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ සීයූඊ ටෙක්නොලොජීස්  CUE Technologies Lanka (Pvt) Ltd සමාගමේ මූල්‍ය හා පරිපාලන පාලනය සම්බන්ධ විගණන නිරීක්ෂණ පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.

විශ්ව විද්‍යාලයේ පාලන ව්‍යුහය වඩාත් විධිමත් කිරීම සහ හඳුනාගෙන ඇති පාලන හා පරිපාලන ගැටලු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් දැනට පවතින විශ්වවිද්‍යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී  අවධාරණය කෙරිණි.  මීට පෙර හඳුනාගෙන ඇති අඩුපාඩු සැලකිල්ලට ගනිමින් පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති හෙයින්  ඒ සඳහා අදාළ නීතිමය හා පරිපාලන කටයුතු කඩිනම් කිරීමේ වැදගත්කම  මෙහිදී පෙන්වා දෙන ලදී.

රෝහලේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම, කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම, ඖෂධ කළමනාකරණය විධිමත් කිරීම සහ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා පරිපාලන පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීමෙන් රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායීව භාවිත කිරීමේ  වැදගත්කමද කාරක සභා සභාවතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ රැස්වීමට   පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර,මුජිබුර් රහුමාන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි ,සමන්මලී ගුණසිංහ ,වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා,  ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවණ , සුනිල් රාජපක්ෂ , අසිත නිරෝෂණ එගොඩ විතාන ,තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි ,දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීන් මෙන්ම, ත්‍රිවිධ හමුදාපතිවරුද   ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  නිලධාරීහු පිරිසක්ද  සහභාගී වූහ.